Year and Month | 07-September-2019 |
Number of Days | One |
Crew | 03 |
Accommodation | N/A |
Transport | Motor Bicycles |
Activities | Hiking, Nature Exploring, Photography, Sightseeing, Archaeology, History |
Weather | Good |
Route | Colombo -> Kandy -> Mahiyanganaya -> Bibila -> Polwatte -> Ampara -> Rajagalathanna Archeological Site |
Tips, Notes and Special remark |
|
Related Resources | Archaeology.lk |
Author | Ranshan Fernando |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
|
Rajagala Monastery – රජගල ආරණ්‍යය නටබුන් – රජගල පුරාවිද්‍යා භූමිය
රජගල, හෝ රජගලතැන්න/රාස්සගල යනු ඝන වනාන්තරයකින් වැසී ගිය මුහුදු මට්ටමේ සිට අඩි 1038 (316 මීටර) පමණ උස්වූ, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි එෙෙතිහාසික වශයෙන් ඉතා වැදගත් වූ පෞරාණික නටඹුන් සහිත කඳු වැටියක් වේ. පැරණි නටඹුන් 600කට වඩා වැඩි ප්‍රමාණයක් සහ අක්කර 1080ක් පමණ පුරා විහිදී ගිය මෙම පුරාවිද්‍යා භූමිය අනුරාධපුරය මිහින්තලා පුරාවිද්‍යා භූමියට පමණක් දෙවන වන බැව් පැවසේ.
අම්පාර-මහ ඔය මහා මාර්ගයේ අම්පාර සිට කිලෝ මීටර 24ක් පමණ දුරින් පිහිටි රජගලතැන්න ප්‍රදේශයේ මෙම පුදබිම පිහිටා තිබේ.
මෙම ස්ථානයෙහි මුල් ඉතිහාසය නිශ්චිත නොවූවත්, ක්‍රි.පූ. 1 වන සියවසට අයත් ශිලා ලිපි හමුවීම නිසා එම සමයේ පමණ සිට මෙහි භික්ෂූන් වහන්සේලා වැඩවසන්නට ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ නමුදු, මෙහි ඉතිහාසය මෙරට බුදුධහමේ පූර්ව අවධියට විහිදෙන බැව් ශිලා ලිපියකින් ප්‍රකාශ වේ. එයට අනූව ලංකාද්වීපයට බුදු ධහම රැගෙන පැමිණි මිහිඳු මහරහතන් වහන්සේ රජගලතැන්න විහාරයට වැඩි බව සඳහන් වේ. මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳ සඳහන් ශිලා ලිපි ද්විත්වයක් මෙරට සොයාගෙන තිබෙන අතර ඉන් එකක් රජගල පුරාවිද්‍යා භූමියෙන්ද; අනෙක මිහින්තලය පුදබිමෙන්ද සොයා ගෙන තිබේ. පැරණි සාධක අනූව මිහිඳු මහරහතන් වහන්සේගේ සහ උන්වහන්සේ සමග පැමිණි ඉට්‌ටිය තෙරුන්ගේ භෂ්මාවශේෂ මෙහි වූ සෑයක තැන්පත් කර ඇති බැව් පැවසෙයි.
“රාස්සගල” නාමය
පුරාවිද්‍යාඥයින් පවසන පරිදි, රාක්ෂයන්ට වැදුම් පිදුම් කල රාක්ෂ ගෝත්‍රිකයින් මේ ප්‍රදේශයේ ජීවත්ව සිටි නිසා මෙම කන්දට රාස්සගල යන නාමය යෙදෙන්නට ඇතැයි පැවසේ.
රජගල විහාරය
දුටුගැමුණු රජතුමාගේ සහෝදර සද්ධාතිස්ස රජගේ පුත් ලජ්ජිතිස්ස රජතුමා (ක්‍රි. පූ. 119-109) විසින් මෙම විහාරය ආරම්භ කල බව මහාවංශය සාක්ෂි දරයි. ලජ්ජ්තිස්ස රජු විසින් කරවූ ශිලා ලිපි කිහිපයක් රජගලින් හමුවී ඇත. මීට අමතරව අනුරාධපුර යුගයේ සිටි කුටකණ්ණ තිස්ස රජු, භාතික තිස්ස රජු, මහසෙන් රජ, බුද්ධදාස රජ සහ දප්පුල රජ වැනි රජවරුන්ගේ සමයන්හී මෙම ස්ථානය වැඩිදියුණු කරවා තිබේ.
පැරණි නම්
අනුරාධපුර යුගයේදී මෙම ස්ථානය ගිරිකුම්බිල විහාරය, අරියාකර විහාරය, අරිත්තරා වෙහෙර වැනි නම් වලින් හඳුන්වා ඇත. දීපවංශය, මහාවංශය, සහස්සවත්තුප්කරණය, අට්ඨකථා, රසවාහිනිය, සද්ධර්මලංකාරය වැනි ග්‍රන්ථ වල මෙම ස්ථානය පිළිබඳ තොරතුරු සඳහන් වේ.
රජගල පුරාවිද්‍යා භූමියෙහි කාල වකවානු ගණනාවකට අයිති ශිලා ලිපි සමූහයක් දැකගත හැකිවේ. ඒ අතර කටාරම් ලිපි හා ගිරි ලිපි වේ. ඉන් වඩාත්ම අවධානයට ලක්වන පුරාවිද්‍යාත්මක සාධකය වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ පිළිබඳව සඳහන් වන ශිලා ලේඛනය වේ. එමගින් මහින්දාගමනය සම්බන්ධ වංශකථාව තවදුරටත් සනාථ කරනු ලබයි.
රජගල පිහිටි අනෙකුත් නටබුන් අතර අඩක් වැඩ නිමකළ හිටි බුද්ධ ප්‍රථිමාව, දිය පිහිල්ල හා ඊට සම්බන්ධ සුවිසල් ශිලාමය පාත්‍රා, පුන්කලස දෝතින් රැගෙන සිටින ආකාරය දැක්වෙන මුරගල හා නාග රාජු හා රාජිනිය දැක්වෙන මුරගල ආදිය දැකගත හැකි වේ.
මීට අමතරව ශිලාමය පාත්‍රා සහිත ස්ථානයට ඉහලින් ගල් පුවරු යොදා ඉදි කළ පැරණි උළුවස්ස සහිත ගල් ලෙන ඉදිකොට තිබේ. එසේම කාලය අනිෂ්චිත ප්‍රාථමික ගුහා සිතුවම් සමූහයක් සහ අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන බිතු සිතුවම් කොටස් කිහිපයක් සහිත චිත්‍ර ලෙනක්ද මේ පුදබිමේ දැකගත හැකිවේ.
රජගල ලෙන් ලිපිය
ක්‍රි. පූ. 2-1 සියවසට අයත් මෙම ලෙන් ලිපිය පූර්ව බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් හා පුරාණ සිංහල භාෂාවෙන් යුක්ත වේ. මෙහි අන්තර්ගතයෙහි, දෙවියන්ට ප්‍රිය වූ ගාමිණී තිස්ස මහ රජුගේ පුත් තිස්ස කුමාරයාගේ භාර්යාව වූ උපාසිකා ශාමිකාගේ ලෙන, ලෙස දක්වා ඇත.
නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රජගලතැන්න ග්‍රාමයේ රජගල පුදබිම පිහිටා තිබේ. රජගල පුදබිම කන්ද අතීතයේදී රාස්සහෙල නමින්ද හඳුන්වා ඇති අතර මේ බෞද්ධ සංඝාරාමය මහින්දාගමනය හා සමඟ ශ්‍රී ලංකාවේ සතර දිග්භාගයෙහි බිහි වූ ආරාම සංකීර්ණයන්ගෙන් ප්‍රධාන ස්ථානයක් ලද්දකි.
රජගල ඇති පැරණිම ශිලා ලේඛනයක මෙම ස්ථානය “ධන තිස පවන” නමින් හඳුන්වා තිබේ. එයට මදක් පසුකාලීන ලිපියක “අරිය අරක ගරිකිබලව් තිස පවත මහ වහර” ලෙස සඳහන් වේ. එනම් අරයාකර ගිරිකුම්භිලවාපි තිස්ස පබ්බත විහාරය යන නාමයයි. මෙහිම වූ II වන මහින්ද රජුගේ කාලයට අයත් යැයි සැලකෙන තවත් ලිපියක මෙම පුදබිම හඳුන්වා ඇත්තේ “අරිත්තරා වෙහෙර”යන නමිනි. දීඝවාපිය පාලනය කළ ලජ්ජතිස්ස කුමරු ගිරිකුම්භිල නම් විහාරයක් කරවන ලද බව මහා වංශයේ දැක්වේ. රජගල කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශයේ ජනවාසකරණයේ ආරම්භය ප්‍රාග් ඓතිහාසික අවධිය තෙක් දිව යයි. තැනින් තැන හමු වූ ශිලා මෙවලම් නිෂ්පාදන ස්ථාන මේ බව සනාථ කරයි.
කන්දෙහි තැනින් තැන විශේෂයෙන් බටහිර බෑවුම් ප්‍රදේශයේ හා කඳුවැටියේ උතුරු කොටසේ ගල් පර්වත ඇසුරෙහි සිය ගණනක් කටාරං ලෙන් දක්නට ලැබේ. ක්‍රි.පූ. 3 වන සියවසේදී පමණ ඇරඹි සංඝාරාමය සියවස් ගණනාවක් පුරා පැවති බව පෙනේ. දාගැබ්, ප්‍රතිමා ගෘහ, දාන ශාලා, බෝධිඝර, ආවාස ගෘහ, පොකුණු, පෙත්මග ආදී සිය ගණනක් ගොඩනැගිලි භූමියේ හාත්පස දක්නට ලැබේ. කන්දේ බටහිර බෑවුමේ මධ්‍ය කොටසේ සංකීර්ණයට ජලය සපයන්නා වූ දැනට බිඳී ගිය වැවක්ද වෙයි.
මෙහි කාල වකවානු ගණනාවකට අයිති ශිලා ලේඛන සමූහයක්ද වෙයි. ඒ අතර කටාරම් ලිපි රාශියක් හා ගිරිලිපි කිහිපයක්ද දක්නා ලැබේ. පුද බිමෙහි අතිශය වටිනා පුරාවිද්‍යාත්මක සාධකයක් වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ පිළිබඳව සඳහන් ශිලා ලේඛනයයි. එහි මහින්ද තෙරුන් හා ඉට්ඨිය තෙරුන්ගේ නම් සඳහන් වීම මහින්දාගමනය මේ පිළිබඳ වංශකථාගත ප්‍රවෘත්තිය සනාථ කරනු ලබයි.
රජගල නටබුන් අතර අඩක් නිමකළ හිටි බුදු පිළිමය, දිය පිහිල්ල හා ඒ හා සබැඳි සුවිසල් ශිලාමය පාත්‍රා දෙකක්ද වේ. දිය පිහිල්ල තවමත් ක්‍රියාත්මකය. පුන්කලද දෝතින් රැගෙන සිටින ආකාරයෙන් දැක්වෙන මුරගල හා නාග රාජ හා නාග රාජිනී යුගලය සහිත මුරගල් ද දුර්ලභ කලා කෘති වේ.
ශිලාමය පාත්‍රා සහිත ස්ථානයට ඉහළින් කඳු බෑවුමේ පිහිටි ගල් පුවරු යොදා ඉදි කළ උළුවස්ස සහිත ගල් ලෙන ද තවමත් නිරුපද්‍රිතව දක්නට ලැබේ.
කාලය නිශ්චිත නොමැති ප්‍රාථමික ගුහා සිතුවම් සමූහයක් ද අනුරාධපුර යුගයට අයත් සේ සැලකෙන බිතු සිතුවම් කොටස් කිහිපයක්ද මේ පුදබිමේ දක්නට ලැබේ. (Wikipedia)
දිගාමඩුල්ල පිළිබඳව වැදගත් සාක්කි රැසක් ඓතිහාසික රජගලතැන්න කැණීම්වලදී සොයා ගැනීමට හැකිව තිබේ. පිටතින් බැලූ විට කිඹුලකුගේ හැඩය පෙන්වන මෙම පුදබිම ඉතිහාසයේ ගිරිකුම්බිල නමින් හඳුන්වා ඇත. මිහිඳු මහා රහතන් වහන්සේ සහ ඉට්ඨිය තෙරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති ස්මාරකය ද මෙම පුදබිමේ තැන්පත්ව තිබීම නිසා මෙහි ඓතිහාසික බව වැඩිවී තිබේ.
ක්‍රි.පූ. 119 පමණ සද්ධාතිස්ස රජතුමාගේ පුත් ලජ්ජිතිස්ස කුමාරයා විසින් මෙම ඓතිහාසික පුදබිම ආරම්භ කළ බව මහාවංශයේ සඳහන් වේ. රජගලතැන්න පුදබිමේ ඇති ලෙන්වල තිබෙන ශිලා ලේඛන 08ක පමණ ලජ්ජිතිස්ස කුමාරයා විසින් මෙය ආරම්භ කළ බවට එය පැහැදිලිව සටහන්ව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.
අක්කර එක්දහස් විසිපහක වපසරියක මෙම පින්බිම විහිදී ඇති අතර කාලයාගේ ඇවෑමෙන් මෙම පුදබිම නිධන් හොරුන් ගේ පාරාදීසයක් විය. යුද්ධය පැවැති සමයේ ආරක්ෂක අංශ රට බේරා ගැනීමට කටයුතු කරන විට නිධන් හොරුන් විසින් නිදහසේ රජගලතැන්න පුදබිම විනාශ කර තිබුණේ හිත්පිත් නැති අයුරින්ය.
2012 වසරේ දී අම්පාර එවකට හිටපු දිසාපති සුනිල් කන්නන්ගර මහතා සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර, මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි, මහාචාර්ය ඇලෙක්සෙන්ඩර් කපුකොටුව යන මහත්වරු රජගලකන්ද නැග මෙහි ඓතිහාසික බව සහ පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලූහ.
එම සංචාරයේදී රජගලකන්දේ තිබූ විශාලතම ශිලා ලිපිය ද පිටපත් කර ගැනීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කටයුතු කළේය.
දැනට රජගලතැන්න පුදබිමෙන් ශිලා ලිපි 80ක් පමණ සොයාගෙන ඇති අතර එම ශිලා ලිපි කියවා ඇත්තේ මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් වන අතර එම ශිලා ලිපි අනුරාධපුර යුගයට අයත් බව මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවැසීය. මෙම ලිපි අතර ලෙන් ලිපි, පුවරු ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි තිබූ බව ද පැවැසීය.
දැනට ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යයනාංශය මගින් කරන ලද ගවේශනවල දී හමුවු මෙම ලෙන් ලිපියක එක අකුරක් අඩියක් පමණ විශාල වන අතර මෙම ශිලා ලිපිය අඩි 15ක් පමණ දිගට ඇත. මෙම ශිලා ලිපිය ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ ලියැවුණු ශිලා ලිපියක් බව ද මහාචාර්යවරයා පැවැසීය.
එම ශිලා ලිපිය මෙසේය
ගමික යසොපල පුත ගමික මල් බරිය
ගමික වස ක්‍ෂිත උපාසික අනුරධිය සගස
එම ශිලා ලිපියේ තේරුම මෙසේය.
ගමික යසෝපාලගේ පුත්‍ර ගමික මලිගේ බිරිඳ වූද ගමික වසගේ දියණිය වූ උපාසිකා අනුරාධා ගේ (ලෙන)
2012 වසරේ සංචාරයෙන් පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශය මගින් රජගලතැන්න අධ්‍යන කටයුතු ආරම්භ කෙරිණි. ඒ සඳහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පිඨාධිපති ආචාර්ය එන්.එල්. කරුණාරත්න මහතා සහ මහාචාර්ය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහාය ලැබිණ.
එදා මහා වනයක්ව නිධන් හොරුන් ගේ පාරාදීසයක්ව තිබූ රජගලතැන්න පුදබිම අද නටබුන්වලින් පිරි ඓතිහාසික පුදබිමක් බවට පරිවර්තනය කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. =
රජගලකන්දේ කරන ලද කැණීම්වලින් මේ වන විට චෛත්‍යය දෙකක්, බෝධිඝර, පිළිමගේ, ලහබද්ගේ (භික්ෂුන් වහන්සේලා දානයට පෙර හමුවූ ස්ථානය), ජන්තාඝරය (භික්ෂුන් වහන්සේලා ඖෂධ පැන් ස්නානය කරන ලද ස්ථානය), දාන ශාලාව හමුවී තිබේ. රජගලතැන්න කන්දට නැගීම සඳහා පෙර රජ දවස පැවැති පෙත් මග ඒ අයුරින්ම සංරක්ෂණය කර ඇති අතර මේ වන විට සෙල්ලිපි 80ක් පමණ සොයාගෙන තිබේ. මෙම කන්ද මුදුනේ තිබූ විශාල ගල් පාත්‍ර දෙකක් ද සංරක්ෂණය කර තිබේ. මෙයට අමතරව රජගල කන්දට නැගීමට ඇති පෙත්මගද අද වන විට සම්පූර්ණයෙන්ම සංරක්ෂණය කර තිබේ. මෙම කැණීම්වලදී දාන ශාලව අසල තිබී ගල් ඔරලෝසුවක් ද හමුව ඇත. රජගල කන්දේ ඇති ඉපැරැණි වැවද ප්‍රතිසංස්කරණය කර තිබේ.
රජගලකන්දේ ඇති මෙම පූජා භුමිය මුහුදු මට්ටමේ සිට අඩි 1035 ක් උසින් පිහිටා තිබේ. දැනට රජගල පුරාවිද්‍යා භුමියෙන් ඓතිහාසික ස්ථාන 700ක් හඳුනා ගෙන තිබේ.
රජගල කැණීම් ආරම්භ වි වසර 07 ක් ගතවෙන විට මෙහි ඉතිහාසය පිළිබඳව තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිව තිබේ. වසර 2000ක පමණ ඉතිහාසයකට උරුමකම් කියැවුණු රජගල ඉතිහාසය මධ්‍ය ශිලා යුගය දක්වා දිවෙන බව අලුත්ම පර්යේෂණවලින් වාර්තා වේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා මෙසේ කියයි.
රජගලතැන්න පුදබිමේ වැඩ කටයුතු ආරම්භ කරල තියෙන්නේ සද්ධාතිස්ස කුමාරයාගේ පුතා ලජ්ජිතිස්ස කුමාරයා. ඒ බව මහාවංශය, දීපවංශයේ ඇති කරුණුවලින් සහ මේ ස්ථානයෙන් හමුවන ශිලා ලේඛනවලින් තහවුරු වෙලා තියෙනවා. ලජ්ජිතිස්ස කුමාරයා මෙම ස්ථානය කරපු කාලයේ දී ලංකාවේ රජු හැටියට කටයුතු කළේ දුටුගැමුණු රජතුමා බව මහාවංශයේ ඉතා පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ සද්ධාතිස්ස කුමාරයා දීඝවාපියෙ ඉන්න කාලේ එයාගේ වැඩිමහල් පුතා ලජ්ජිතිස්ස කුමාරයා මේ ස්ථානයේ මෙම ආරණ්‍ය සේනාසනය ආරම්භ කළ බවත් එතැන් සිට අනුරාධපුරය අවසන් යුගය දක්වා විවිධ රජවරුන්ගේ අනුග්‍රහය ලබමින් මෙම ස්ථානය කරවූ බවත් ශිලා ලේඛනවල සඳහන් වෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහතා.
දෙවෙනි කැණීම්වලදී මිනිස් දත්, ආහාරයට ගන්නා ලද සත්වයන්ගේ අස්ථි කොටස්, ආහාරයට ගන්නා ලද කැකුණ ඇට, ආහාරයට ගැනීමට ගෙනා ගොළු බෙල්ලන් ගේ කොටස්, අඟුරු, අළු, සර්පයෙකු ගේ අස්ථි කොටස්, සහ ක්ෂුද්‍ර ශිලා මෙවලම් හමුවුණා. ඒ අනුව දිගාමඩුල්ල ඉතිහාසය වසර 7000 සිට වසර 40000 දක්වා අතීතයට දිව යනවා. අපිට හමුවූ ඒ පුරාවිද්‍යාත්මක දේවල් රසායනාගාර පරීක්ෂණවලින් අනතුරුව තවත් කාල නියමයන් පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. ලබන වසරේ තුන්වෙනි අදියරේ කැණීම් ආරම්භ කරනවා. එහිදී තවත් වැදගත් වූ සාධක හමුවේ යැයි අපි විශ්වාස කරනවා.
පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා
රජගලතැන්න කැණීම්වලදී අපි නොහිතපු විදියට ඉතාමත් වටිනා ඓතිහාසික තොරතුරු ලැබිල තියෙනවා. දැනට ලැබිල තියෙන තොරතුරු අනුව ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා මෙහි ඉතිහාසය විවර වෙලා තියෙනවා දැනට තියෙන සාධක අනුව ඉතිහාසයේ නැගෙනහිර ප්‍රධානතම පුදබිමක් ලෙස තිබිල තියෙනවා. ඒක නිසා අපි පුරාවිද්‍යා දෙපාර්මේන්තුව හැටියට ඉදිරියේදී මෙම කැණීම් අඛණ්ඩව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි කැණීම්වලදී තවත් වැදගත් සාධක හමුවේ යැයි අපි විශ්වාශ කරනවා. අපි මෙම කැණීම් දිගටම කරගෙන යනවා.
Article Resource – Sunday Lankadeepa
Thank you for reading !