Year and Month | August 2017 |
Number of Days | 1 |
Crew | 5 (Sobasiri Team) |
Accommodation | N/A |
Transport | Motor Bicycles |
Activities | Hiking, Nature Exploring, Photography |
Weather | Perfect |
Route | Colombo -> Kandy -> Madawala -> Panwila -> Bambarella -> Lebanon Estate -> KMP Wadiya |
Tips, Notes and Special remark |
|
Related Resources | Online Articles : Article 1, Article 2 |
Author | MSRF |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread |
දුම්බර වනපෙත යනු මධ්‍යම කඳුකරයේ උතුරු හා ඊසාන දිග මායිම්ව වන්නට පැතිරුණු ජෛව විවිධත්වයෙන් අනූන වනපියසකි. දේශයටම අනන්‍ය වූ ශාක වර්ග, මල් වර්ග සේම සත්ව වර්ග ජීවත් වන මෙම අඩවිය හෙක්ටයාර දහස් ගණනකින් යුක්ත වේ. විවිධ හැඩතල ගත් කඳු ශිඛර, පතන හා තැනිතලා සේම අලංකාර දිය ඇලි සහ ජල පෝෂක ප්‍රදේශ රැසකින් පරිපූර්ණ නක්ලස් වනපියස ප්‍රධාන වශයෙන් මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවලට අයත් වේ.
වනයට ඇතුළුවීමට බොහෝ පැති ඇතත් සම්මත වශයෙන් පැති 3ක් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් සකස් කොට ඇත. සම්මත සංචරණ මාර්ග (Nature Trails) කිහිපයක්ම පවතින නමුත් ඒ හැර බොහෝ ඉසව් ගවේෂණයට සහ සුන්දරත්වය විඳීමට බොහෝ ක්‍රියාදාම සංචාරකයෝ ඇල්මක් දක්වති. නකල්ස් වනපෙෙත් උසම කන්ද වනුයේ ගොම්බානියා වන අතර පසු තැන නකල්ස් කන්දට හිමිවේ. නකල්ස් හි උසැති කඳු දහයෙන් සය වන තැනට ඇති තුන්හිස්ගල යනු අපූරුම හැඩයකින් යුතු කන්දකි. විටෙක එය සිරිපා මහගිරි දඹ ලෙස උස්ව ඉහළට එසවුණු කන්දක් ලෙස පෙනෙන අතර විටෙක තුන් හිසකින් ළඟා විය හැකි කන්දකි. ‘‘තුන්හිස’’ යනු කන්ද පැති 3කින් යුතුව මධ්‍යගතව ඉහළට එසවීමයි. මෙම කන්ද පිහිටියේ දුම්බර වනපෙතේ ජනාවාසවලින් ඈත් වූ සහ වනපියසක් තුළය. එම නිසාම මෙහි ළඟා වීමට දවසක් පමණ වැය වෙන අතිශය දුෂ්කර ගමනක යෙදීමට සිදුවේ.
මහනුවර සිට වත්තේගම හරහා පන්විල පාරේ පැමිණෙන විට ගොම්බානියා, යකුන්ගෙ ගල, කිරිගල්පොත්ත, නකල්ස්, කන්දසාමිගල, හුන්නස්ගිරිය කන්ද, සෙල්වකන්ද වැනි දැවැන්ත කඳු පන්ති දැකගත හැකිය. තවද තවලිය වැටුණු ඇල්ල, හුළුගඟ ඇල්ල, සාරි ඇල්ල, ජෝඩු ඇල්ල, රහස් ඇල්ල, වැනි ඇලි රාශියක් මේ අවට පිහිටා ඇති බැවින් එහි සුන්දරත්වය ද කාටත් විඳිය හැකිය. පන්විල පාර අවසන් වනුයේ බඹරැල්ල යන ග්‍රාමයෙන් වුවද තව දුරටත් එම මාර්ගය ගෝමරය හරහා රංගල සහ තංගප්පුව ඔස්සේ තෙල්දෙණිය දක්වා දිව යයි. කෙසේ හෝ බඹරැල්ලට සේන්දු වීමට ප්‍රථම ලෙබනන් වතුයායට ගමන් කරන අතුරු මාර්ගය ඔබට වම් පසින් දැකිය හැකිය. තුන්හිස්ගල ගමන ඇරඹීමට නම් ඔබට මෙම ප්‍රදේශයේ අවසන් මිනිස් ජනාවාසය වන ලෙබනන් වතුයාය පසු කිරීමට සිදුවේ.
ලෙබනන් වතුයායේ කෙළවර එනම් නකල්ස් මායිම තුළ ඇති රත්නගිරිය වත්ත මතින් වනයට ඇතුළු විය යුතු අතර නකල්ස් ප්‍රේරණ කලාපය එතැනින් අවසන් වේ.
තේ වතුයායකින් වැසුණු මල්ගුඩ් හන්දිය පසුකර කම්කරු නිවාස පේලි අතරින් ලෙබනන් වත්තේ දිය ඇලි යුගලයක් නරඹාම අප ඉහළට ඇදුනේ රත්නගිරිය වත්ත වෙතය. අහස් කුස හොඳින් නිලට දිලුණු බැවින් බටහිර ප්‍රදේශයට වන්නට බතලේගල, අලගල්ල, හුන්නස්ගිරිය, අරංගල වැනි කඳු වැටි පවා දැක ගැනීමට ලැබුණි. ක්‍රමයෙන් උස් බිමක් වෙත අප ඇදෙන්නට වූ අතර වන පියසට පිවිසීමට පෙර හමුවන අවසන් වතු නිවාසයත් පසුකර අප මාන කැලය මැදින් ඉහළට ඇදුනේ කූඩැල්ලන්ට විසඳුම් අරගෙනමය.
දුම්බර අඩවියේ සංවේදී පරිසර කුලය, තුන්හිස්ගල සිට ගොළුබානියා සහ දූවිලි ඇල්ල අතර විහිදී ඇති අතර අනෙක් පසින් තුන්හිස්ගල අලුගල් කන්ද සහ නකල්ස් කඳුවැටිය හරහා රත්නගිරිය තෙක් විහිදී ඇත. එම ඉසව් තුළ තවමත් මිනිස් පය නොතැබූ හිස්ව පවතින අතර එම ගමනාන්ත අතිශය දුෂ්කර හා අවදානම් බව ගම්වැසියන් අපට පවසන ලදී. තවද මාඋස්සා ශාක, දෙබර කූඩු වැනි උපද්‍රව්‍ය වලින් පරෙස්සම් වන ලෙසට ඔවුන් විසින් අපට පවසන ලදී. ක්‍රමයෙන් අප රත්නගිරිය වත්තේ කෙළවර පිහිටි රත්නගිරිය කන්ද අසලට පැමිණ වටපිටාව අවසන් වරට නිරීක්ෂණය කළේ තව මොහොතකින් ඝන වන පියසට ඇතුළු විය යුතු හෙයිනි.
හා හා පුරා කියා වන ලැහැබට රිංගාගත් අපව පිළිගැනීමට කූඩැල්ලන් සූදානම් ව සිටි බැවින් ලේ දන්දීම මගින්ම වියැකී යන අඩි මාර්ගය දිගේ අපි ඉදිරියට ගමන් කළෙමු. මුළු වනයම එක රොත්තට වැල්, ශාක පත්‍ර සහ කඳන් වලින් පිරී තිබුණි. අධික තෙත් ගතියක් පැවතුණු එම වනයේ ඉහළ අහස් කුස පවා වැහිබර ගතියෙන් යුක්ත විය. මද වේලාවක් අප එම ඉසව්වේ ගැවසුණු පසු නැවතත් විවෘත ප්‍රදේශයකට පැමිණියෙමු. එම කන්ද හුළං කන්ද වන අතර අධික සුළං ප්‍රවාහයක් අපට ද විදීමට හැකි වුණි. තවද එක් පසෙකින් නකල්ස් කඳුවැටියේ ඉදිරිපස වන දුර්ගය පෙනෙන අතර බැලු බැල්මට එහි යාමට සමතෙකු මෙරට පහළව ඇත්දැයි සිතිය හැකි තරම් දුර්ගයක් එහි දැකිය හැකි විය. නකල්ස් වනපෙතේ ලකේගල, උයන්ගමුව, අළුගල්ලෙන, යහන්ගල වැනි ප්‍රදේශවල පවතින රාවණ, පුවත සබැඳි කටකථාවක් යන්තමින් අපගේ කණ වැකුණ ද ඒ පිළිබඳව ලෙබනන් වත්තේ කිසිවෙකුත් නොදන්නා බව අපට පෙනුණි.
තුන්හිස්ගල කන්දේ සිට ආසන්නතම ගම් වනුයේ මීමුරේ සහ ලෙබනන් වත්ත වේ. නමුත් එ් සඳහා ද කන්දේ සිට කි.මී. 10කට වැඩි දුරක් පවතියි. කෙසේ නමුත් තුන්හිස්ගල එක් පැත්තක් මහනුවරටත් අනෙක මාතලේටත් අයිතිය.
හුළං කන්දෙන් පිටත් වූ අප නැවත පිවිසියේ මහ වන රොදකටය. අප සියලු දෙනා එකා පසුපස සීරුවට අවධානයෙන් ගමන් කරන්නට වූයේ සර්ප අනතුරු තිබිය හැකි බැවිණි. කිලෝමීටර් කිහිපයක්ම අප ගමන් කළේ බොහෝ දිය දහරාවන් හරහා යමිණි. විටෙක අප දුටු දිය දහරාවන් අසල තිබූ කුඩා දිය ඇලි මීටර් 5කට වඩා උස්විය. මෙම ප්‍රදේශය තරමක් සංවේදී බවක් දන්වන්නේ ප්‍රධාන වශයෙන් ජල පෝෂක ප්‍රදේශයක් වන බැවිනි. මන්ද අප සෘජුවම ලෙබනන් වත්තේ සිට ඉතාමත් දිගු කඳුවැටියක් හරහා ගමන් කරන්නේ තද වනපියසක වන බැවිනි. කුඩා ගොළු බෙලි විශේෂ, අංකටුස්සා වැනි උභය ජීවීන් මෙම ඉඩම්වල සිටින බැවින් අපි සෑමවිටම සම්මත අඩි මාර්ගයේ පමණක් ගමන් කළෙමු.
විටෙක අප සිටි වන පියසම සුදුපාට මීදුම් වළාවන්ගෙන් වැසී ගියේ දැඩි ගුප්ත බවක් ඇතිකරවමිනි. අන්ධකාරය පවා රජයන දහවලක දසතම ගහකොළ වලින් වටවූ බිමක අප සිටින බව මතකයේ තබා ගත්තේ අපගේ නැවතුම්පොළට තවත් බොහෝ දුර ඇති නිසාවෙනි. ලද සුළු මොහොතෙ දී පවා ගිමන් හැරි පිරිස පුරා හෝරා තුනකට ආසන්න ගමනකින් පසුව ළඟා වූයේ නකල්ස් වනයෙන් දැනට ඉතිරිව ඇති නටබුන්ව වල්වැදුණු එකම එනසාල් වාඩිය වෙතය.
එය හඳුන්වන්නේ කේ.එම්.පී (KMP) වාඩිය ලෙසය. එනසාල් යනු නකල්ස්වනපෙතේ තර්ජනාත්මක ශාකයකි. මීට වසර ගණනකට පෙර නකල්ස් රක්‍ෂිතයේ දැඩි වශයෙන් එනසාල් වගාව බෝ වුණි. මෙම Kmp වාඩිය සේම සම්පූර්ණ නටබුන් වූ හේමචන්ද්‍ර වාඩිය හා තවත් වාඩි කිහිපයක් මෙම ඉසව්වේ සහ රැහැන කෙටු පතන ආශ්‍රිතව පවතියි. එනසාල් යනු ජලය බහුලව උරාගන්නා ශාකයක් වීම තුළ එම වගාව නකල්ස්හි පරිසර සංයුතියට ඉතාමත් දැඩිබාධාවක් බව හඳුනාගත් පසුව රජය විසින් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා නකල්ස් වනපෙතේ එනසාල් වගාව තහනම් කරන ලදී. මේ එනසාල් සිද්ධිය ඉතාමත් සංක්‍ෂිප්තය. මෙහි එකී මෙකී නොකී සහ අදටත් සිදුවන කථාන්දර බොහෝමයක් වේ. කෙසේ නමුත් Kmp වාඩිය යනු කාමර 5ක්, මුළුතැන්ගෙයක්, සාලයක් සහිත විශාල නිවසක් බඳු වාඩියකි.
එනසාල් තහනම් වූවද තුන්හස්ගල පාමුල හා ඒ අවට තවමත් බහුල ශාක ව්‍යාප්තියක් දක්නට ලැබේ. Kmp යනු අපගේද දිගු ගමනක දිගු විවේකයක් ගැනීමට කදිම ස්ථානය විය. මුළුතැන්ගෙයි ලිපගිනි ෙමල වී තිබුණේ මේ අවට එනසාල් වගාකටයුතු සඳහා වරින් වර පැමිණෙන මහතුන් මාමා සිටිය හෙයිණි.
මෙතනට අප යා යුතු තුන්හිස්ගල කඳු මුදුන පෙනුනේ හරිම අපූරු ලෙසකිනි. මන්ද යත් එය දුටු මා හට එකවරම මතක් වූයේ අප්‍රසිද්ධ මාර්ගයකින් සිරිපා කරුණා කරන විට මහගිරි දඹ දුටු ආකාරයයි. තුන්හිස්ගල විටෙක සමනල කන්ද ලෙස ද පෙනෙන්නේ එහි වූ එම හැඩය නිසාවෙනි.
දුම්බර වනපෙත තුළ සංචරණයේ දී Kmp වාඩිය යනු බොහෝ වැදගත් ස්ථානයකි. මන්ද බඹරැල්ලේ සිට රැහැන කෙටු පතන හරහා මීමුරේට යාමට නම් වාඩිය හරහා යා යුතු අතර දූවිලි ඇල්ලට ද kmp සිට යා හැකි බැවිනි. කෙටියෙන් කිවහොත් බඹරැල්ලේ සිට මීමුරේ නාරංගමුව, රණමුරේ, වල්පොළමුල්ල, රඹුක් ඔළුව ආදි ගම්මානවලට යා හැකි දුෂ්කර මාර්ගයේ ප්‍රධාන මංසන්ධිය Kmp වාඩියයි. කෙසේ හෝ දිගු විවේකයක් ගත් අපි මහතුන් මාමාගේ කෙටි මග පෙන්වීමක් තුළින් තැලී පොඩි වී ගිය එනසාල් වගාව අතරින් තුන්හිස්ගල කඳු මුදුනට යා හැකි අඩි මාර්ගය අසලට ඇරලවා ගත්තෙමු.
තුන්හිස්ගල එක් කඳුවැටියක කෙළවරට එනම් ගැට්ටට අපි පැමිණියෙමු. මීටර 4ක් පමණ උසැති ශාක ව්‍යාප්තියක් තිබුණ ද සුළු ගමනකින් පසු අප අවතීර්ණ වූයේ විවෘත ප්‍රදේශයකටයි. මෙහි එක් පසෙක දැවැන්ත ප්‍රපාතය වූ අතර අනෙක් පස මහ කැලයේ පලමක් විය. මෙතැන් සිට මීටර් 500ක් පමණ කඳුමුදුනට වන්නට පිහිටි දුර තුළ ඇත්තේ කුරු/ පිග්මී ශාක ව්‍යාප්තියයි. මෙම කොටසේ ගමන මට සිහිවූයේ හක්ගල කන්දේ ගමනය.
තුන්හිස්ගල කන්ද ඉහළට නැග ගත් පසු සවස් යාමය ළංවත්ම වූ නිසා අප කන්ද නැවත බැසීමට සිතාගත්තේ අඳුරට පෙර මහ කැලය මැදින් දූවිලි ඇල්ලට යා යුතු වූ හෙයිණි. කෙසේ හෝ එනසාල් වනය මැදින් සීරුවට අප පැමිණියේ කලින් වර අපගේ සගයන් කිහිප දෙනෙකු වැරදීමකින් රෑහැන කෙටු පතන ආසන්නයට ගිය නිසාවෙනි.
මීදුම් සළු මගින් තුරු වදුලු අතර හිස්තැන් පුරවන විට එනසාල් අතු අප යන මග අහුරමින් තිබුණේ අපව තවත් එහි තියාගත්තාක් මෙනි. බොහෝ පිරිසක් කලින් කන්දට නැග්ග පස් පෙරළුනු මාර්ගය දැන් තවත් දුෂ්කරය. පඳුර පිටින්ම වැරෙන් අල්ලා නොගන්නට එනසාල් පෙර අතු මත යැපී පල්ලම් බැසීම අනතුරුදායක විය. කන්ද බසින විට ඉතා ඈතින් පැමිණෙන පිරිසව ද අපට පැහැදිලිව පෙනුණේ කුරු ශාක ව්‍යාප්තිය නිසාවෙනි. දුම්බර මිටියාවතේ හදවත බදු කොටසේ අහස් කුස සීරුවට හිරු රැස්වලට වනයට පතිත වීමට ඉඩදුන්නේ පෙර කතිකා කරගත්තාක් මෙනි. රෑ හැන කෙටුපතනටත් KMP වාඩියටත් පාර බෙදෙන ස්ථානයට පැමිණ අපි KMP වාඩිය දෙසට ගමන් කළෙමු. සිතියම්වලට අනුව දූවිලි ඇල්ලට යා හැකි පහසුම හා ළඟම මාර්ගය හේමචන්ද්‍ර වාඩිය හරහා වැටී තිබූ නිසාවෙනි.
රැහැන කෙටු පතන යනු මීමුරේ දක්වා ගමන් කළ හැකි දුෂ්කර මාර්ගය වේ. දූවිලි ඇල්ලට හෝ තුන්හිස්ගල හෝ වමාරපුගල මීමුරේ සිට යනව නම් අනිවාර්යයෙන්ම රැහැන කෙටු පතනට පැමිණිය යුතුය බොහෝ කාලවලට මෙම පතනේ වන අලි රජ කරති. මෙය අඩකවයක ආකාරයට පැතිරුනු ඉතාමත් කුඩා පතනක් බව තුන්හිස්ගල මුදුනේදී අපි දුටුවෙමු. පතන මුළුමනින්ම මාන පඳුරු වලින් වැසී පවතියි. කළු ගඟේ උපත දෙන වමාරපුගල පිහිටියේ රැහැන කෙටු පතනට පසෙකිනි. කෙටියෙන් කිවහොත් තුන්හිස්ගල සහ වමාරපුගල මැද පිහිටි රැහැන කෙටුපතනට දකුණු දෙසින් මීමුරේ ගම සහ උතුරු දෙසින් දූවිලි ඇලි හා මල්කිරිගොඩ කපොල්ල දක්වා දිගු විවෘත අවකාශයක් පුරා දුව යයි.
කෙසේ හෝ අප KMP වාඩියට ප්‍රථම මීටර 100 කට කලින් ස්ථානයකින් වනයට ඇතුළු වීමට තීරණය කළේ GPS සිතියමට අනුවය. එම මග දිගේ මීටර් 400ක් පමණ ගිය පසු අපි නටබුන්ව ගිය වාඩියක් අසලට ආවෙමු. එය හේමචන්ද්‍ර වාඩිය ලෙස හඳුන්වයි. මෙම ස්ථානයට තුන්හිස්ගල පෙනෙනුයේ සිරිපා කන්ද ලෙසිනි. යන්තමින් නටබුන් අතර පිහිටි එක් බිත්තියක වූ ජනෙල් කවුළුවකින් තුන්හිස්ගල දෙස බැලූ විට මතකෙට ආවේ මගගිරිදඹ පෙනුමම විය. හේමචන්ද්‍ර වාඩිය යනු එනසාල් වගාව නිසා විනාශ වී ගිය ඉසව්වකි. මෙහි KMP වාඩියේ මෙන් කිසිදු ඉඩක් නොවෙයි. ගරා වැටුණු බිත්ති සහ ඇතුළත පඳුරු වැටී වනරොද ගිලගෙන හමාරය.
පැය කාලක් පමණ අප එම ඉසව්ව විපරම් කළේ වන අලි ගැවසීම ගැන යම් හෝඩුවාවක් දැන ගැනීමටය. නමුත් වාසනාවකට එලෙස කිසිවක් අප දුටුවේ නැත. මෙතැන් සිට දූවිලි ඇල්ලට යාමට කිසිදු අඩි පාරක් හෝ දළ වශයෙන් මාර්ගය දන්නා කිසිවෙකු අප සමග නැත. එහෙයින් කල් තියාම අප GPS සිතියම් භාගත කරගෙන පැමිණියේ ඒ අනුව අපගේ නැවතුම් පොළට යාමටය. මෙම වනය ගැන කල්තියාම ගමේ පැරැන්නන්ගෙන් විස්තර අසා ගෙන ඊට සරිලන ලෙස සූදානම්ව අපි පැමිණියෙමු.
මන්ද මෙම වනරොද කොපමණ සුන්දරත්වයක් ඉසිලුව ද ඒ හා ප්‍රමාණයෙන්ම අනතුරින් ද බහුල විය. මිනිස් සම මත ස්පර්ශ වීමට නුසුදුසු විෂ සහිත මාඋස්සා ශාක පිළිබඳවත් බහුලව පවතින බඹර හා දෙබර කූඩු පිළිබඳවත්, පොළොන්, තෙලිස්සා වැනි සර්පයින් ඇතුළු සෙසු අනතුරුදායක දේ මෙහි පවතින හෙයිනි. එම නිසාම නඩය එකාමෙන් එක ළඟින් යාමටත් පය තැබීමේදී වඩාත් කල්පනාකාරීව යාමටත් ශබ්දය අවම ලෙස පවත්වාගෙන යාමටත් එකඟව සිටියෙමු. එම නිසාම අප සැමගේ ඇස්, කන්, මනස සහ පංච ඉන්ද්‍රියන්ම වනය සහ වනය තුළ පවතින ගුප්ත නිහැඬියාව වෙත යොමු කරගෙන සිටියෙමු.
බඹරැල්ලේ සිට එන විට හමුවූ තෙත් බව මෙම ප්‍රදේශයේ දක්නට නොවීය. පොළව පුරා වැටුණු කොළ මඩ පැහැගැන් වී පය තබන විටත් ‘සරස්’ ගා හඬින් පොඩි වී යයි. මහරූස්ස ගස් කඳන් වටා අප දෙතුන් දෙනෙකු පමණ අත් අල්ලා සිටිය හැකි තරම් විශාල විය. ඈතින් ගල්කුට්ටි පෙනෙන්නේ නොසෙල් වී සිටින වල් අලි මෙනි. මහා පරිමාණයෙන් ශාක එක ළඟින් නොතිබූ නිසා බොහෝ විට යම් දුරකට වනය දැකගත හැකි විය.
පිටුපසින් පැමිණි අයගේ අවධානය නිසා ගස් මුදුනක තිබූ බඹර කූඩුවක් දැකගත හැකි විය. හීන්සීරුවේ ශබ්ද නොගා එම ඉසව්ව පැන යන විට වනය තුළ තිබූ පඳුරුමය ශාක වැඩි ඉසව්වකට යොමුවිණි. කෙසේ හෝ වන රොද පීර ගෙන සවස් යාමය පහුවන කණිසමේ හණි හණිකට පිය මැන්නේ රාත්‍රියට මෙම වනය අනතුරුවල තෝතැන්නක් වූ බැවිනි.මන්ද විෂඝෝර සර්පයින්, කොටියන් රජයන අඳුරේ අනතුරක් වුවහොත් පැය දහයක් යනතුරු කිසිදු මිනිස් වාසයකට ළඟා විය නොහැකි ඉසව්වක අප සිටි හෙයිනි.
Thanks for reading!
Sobasiri Team © 2018