Year and Month | Several times in 2018 |
Number of Days | 1-3 |
Crew | 5 (Sobasiri Team) |
Accommodation | N/A |
Transport | Motor Bicycles |
Activities | Exploring history, Photography, gathering information |
Weather | Good |
Route | Colombo -> Kandy -> Gampola -> Nuwaraeliya |
Tips, Notes and Special remark |
|
Related Resources | Trip report : Nuwara Eliya |
Author | Ranshan Fernando |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread |
1. සිරිපා වන්දනා ගමන ගැන කියන අඹගමු සෙල්ලිපිය
තථාගත බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වෙනි වර්ෂයේදී මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළහ. ඒ උන්වහන්සේගේ තෙවන ශ්‍රී ලංකාවට වැඩම කිරීමයි. එම අවස්ථාවේදී සුමන සමන් දෙව් රජුගේ ආරාධනය පරිදි බුදුපියාණන් වහන්සේ සමන්ත කූඨ පර්වත මුදුනේ මුනි සිරිපා පා පහසින් හෙළදිව පිවිතුරු භූමියක් බවට පත්කළ සේක.
එතැන් සිට අවුරුදු දෙදහස් ගණනක ඉතිහාසය පුරා අප ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව මහත් බැතියෙන් සිරිපා වන්දනාවට වසරකට වතාවක් එකතු වෙති. අන්‍යාගමික බැතිමතුන්ද තම ආගමික පුණ්‍ය භූමියක් ලෙස සලකා සිරිපා වන්දනාව කරති.
මුහුදු මට්ටමින් අඩි 7360 ක් උසින් යුතු සිරිපා පුදබිම ශ්‍රී ලාංකික බොදුනුවන්ට පමණක් නොව ලෝක වාසී බොදුනුවන්ගේ මහත් වූ ගරු බුහුමන් ලබන ආගමික ස්ථානයකි. අප දන්න තරමින් පුණ්‍ය භූමියක් කේන්ද්‍ර කරගෙන වාර්ෂිකව සය මසක් සිදු කෙරෙන වන්දනා ගමන නම් සිරිපා වන්දනා ගමන විය හැක.
සමන්ත කූඨ පර්වතය මුදුනේ වූ මුනි සිරිපා පාද පත්මය මත නළල තබා වන්දනා කිරීමට යෑම අති දුෂ්කර ගමනකි. ඒ නිසාම මෙම උතුම් වන්දනා ගමන රාත්‍රී කාලයේ සිදු කිරීමට අපේ පැරැන්නන් කටයුතු කර ඇත. ඒ අනුව අද දක්වාම රාත්‍රී කාලයේ මේ වන්දනා ගමනට බැතිමත්හු එකතු වෙති. අද දවසේ සිරිපා වන්දනා ගමනට විවිධ වූ පහසුකම් එකතු වී ඇත. එහෙත් එදවස මේ වන්දනා ගමන අති දුෂ්කර කටයුත්තකි. අපේ පැරැන්නෝ මේ උතුම් වන්දනා ගමනට යටගියාවේ එකතු වී ඇත්තේ ගේ දොර හරකාබාන ආදී තමන් සතු සියලු වස්තූන් තම දූ දරුවන්ට පවරා දීමෙන් පසුවය. සිරිපා වන්දනා ගමන කොතෙක් දුෂ්කර එකක්ද යන්න එයින් තේරුම් ගත හැක. ඒ පිළිබඳව මනාව කියන සටහනකි නුවරඑළිය අඹගමුව සෙල්ලිපිය.
නුවරඑළිය, අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගිනිගත්හේන නගරයේ සිට නාවලපිටිය මාර්ගයේ හය වන සැතපුම් කණුව අසලින් වම් පසට හැරී උඩබුලත් ගම තුළ යාර 400 ක් පමණ දුර ගිය තැනදී මහ කළු ගල් තලා කීපයක් අපට දිස්වේ. මෙම ගල් තලා අතර ගල් කුලුනු දෙකක මනාව ලියැවුණු සටහනක් අපට දැකගත හැකිය.
අඟල් 4 ක් පමණ දුරින් ඉරි ගසා ලියූ සටහන් පළමු ගල තුළ පේළි 33 ක්ද දෙවන ගල මතුපිට අක්ෂර පේළි 25 ක්ද දැකගත හැකි අතර ඉතා මනාව පෙන්නුම් කරන අක්ෂර එහි දැක්වේ.
ශ්‍රී පාද වන්දනා ගමනට අදාළ බොහෝ කරුණු මෙම අඹගමුව සෙල්ලිපිය තුළ අඩංගු වී ඇත. එම තොරතුරු විමසීම මේ සිරිපා වන්දනා සමය නිසාම වැදගත් වේ යැයි සිතේ.
එදවස මේ උතුම් පුදබිම වන්දනා කිරීමට මේ පුංචි ශ්‍රී ලංකාවේ සතර දිගින් බැතිමතුන් පාගමනින් පැමිණ ඇත්තේ අති දුෂ්කර ලෙස මාස ගණන් ගත කිරීමෙන් පසුවය. ඇතැම් විට එය එදා වට වන්දනාවටද අැතුළත් වන්නට ඇති බව සිතිය හැක.
අවුරුදු දහස් ගණනකට පෙර පළමු විජයබාහු රජ දවස 1055-1110 අතර කාලයේදී ඇතිවූ ආගමික ප්‍රබෝධය හේතුකොටගෙන පළමු විජයබාහු රජතුමා විසින් මෙම සෙල්ලිපිය පිහිටුවා සිරිපා වන්දනා ගමනට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදුන් බව මෙම අඹගමුව සෙල්ලිපිය කරුණු කියයි. සිරිපා පුණ්‍ය භූමිය වන්දනා මාන කරන පිළිවෙත් හා ඒ වෙනුවෙන් පැවරූ නින්දගම් පිළිබඳව මෙම සෙල්ලිපිය සාක්ෂි දරයි.
ඈත දුරබැහැර සිට සිරිපා වන්දනාවට පැමිණෙන වන්දනාකරුවන්ට ගමනේ දුෂ්කරතාවය මත ගිමන් හැර මනා සෞඛ්‍ය තත්ත්වයකින් සිරිපා කරුණා කිරීමට අවැසි කායික ශක්තිය ලබාදීම අරමුණු කරගෙන පළමු විජයබාහු රජු සිරිපා පුදබිමේ සිට ගව් පහක් දුරට ගව්වෙන් ගව්වට ගිමන්හල් ඉදිකොට බෙහෙත් හල් සකසා දින ගණනාවක් වන්දනා කරන්නන්ට විවේක ගන්නට අවකාශ සලසා ඇත. ඒ සමගම ඔවුන්ට බත බුලතින් සංග්‍රහ කළ යුතු බවත් ඔවුන්ට ආවතේව කළ යුතු බවත් එම හැම කටයුත්තක්ම තමා වෙනුවෙන් ඉටුකළ යුතු බවට රජු විසින් නියෝගයක් ලෙස මෙම සෙල්ලිපියේ කරුණු දක්වා ඇතැයි පැවසේ.
පළමු විජයබාහු රජු තම අවුරුදු 55 ක රාජ්‍ය කාලය තුළදී රටට එල්ල වී තිබුණු සොළීන්ගේ තර්ජනයෙන් මුදවාගෙන යහ පාලනයකට නතු කර ඇත. ඒ යටතේ රට තුළ වූ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරමින් ආගමික ප්‍රබෝධයට පියවර ගත්තේය. ඒ පිළිබඳව මහා වංශයේ මෙසේ සඳහන් කර ඇත.
සමන් කූඨ පව්වෙහි පිහිටි මුණි රජහුගේ පා සටහන වඳනා පිණිස දුක සේ යායුතු මග යන්නා වූ මනුෂ්‍යයෝ සියල්ලෝම නොපෙළෙන්ව යි දන් වැටුප් පිණිස හැල්කෙත් ආදියෙන් සමෘධ වූ ගිලීමලය නම් ගම දෙව්. කෙසෙල්ගම් මගද එසේම ඌවරට මගද වෙන් වශයෙන් ගම් දී සලාද කරව්. රජතෙමේ අනාගත කාලයෙහි රජදරුවෝ ඒ ගම් නොගණින් වයි අකුරු කොටවා ගල්ටැම්ද පිහිටවීය.
සිරිපා වන්දනා කරන මහා සංඝයා වහන්සේලාට වන්දනාකරුවන්ට ආහාර පාන බෙහෙත් හේත් දීම හා සියලු රැකවරණය දීමට එකතු වන රාජකාරි කරන අයට වැටුප් ගෙවීම සඳහා භවභෝගවලින් යුතු ගම්මානද සිරිපාද පුදබිමට පවරා තිබුණු බව මහාවංශයේ තවදුරටත් සඳහන්ව ඇත.
එපමණක් නොව ශ්‍රී පාද පත්මය වන්දනා කිරීමේ ක්‍රමවේදයක්ද පුද පූජා පැවැත්වීම සුදුසු අය උඩමළුවට ඇතුළු විය යුතු බවත් අනෙක් අවශේෂ කොටස් පහත මළුවේ සිට සිරිපා පත්මය වන්දනා කළ යුතු බව මෙම අඹගමුවේ සෙල්ලිපියේ සටහන්ව ඇති බව පැවසේ.
මහාවංශය අනුව ක්‍රි.ව. 1187 දී නිශ්ශංකමල්ල රජු සිව් රඟ සේනා සමග සමන්ත කූඨ පර්වතයට ගොස් සිරිපා වැඳ පුදා ගත් බවට තොරතුරු අනාවරණය කරයි.
අවුරුදු දහස් ගණනාවක් අප හෙළ රාජාවලියේ මහ රජවරු මේ පුණ්‍ය භූමියට මහත් බැතියෙන් තම ගෞරවය පුද කරමින් අද දවසේ අප වෙත උරුම කර ඇත. උඳුවප් පොහොය දින සිට වෙසක් පුන් පොහොය දින දක්වා දින 147ක් අප ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව මේ සිරිපා වන්දනාවට එක්වෙති.
ශ්‍රී ලංකාවේ දකුණු කොනේ සිටත් උතුරු මැද උෟව වෙල්ලස්ස දිගාමඩුල්ල ඈත දුරබැහැර සිට එක් අරමුණක් තුළ වන්දනා නඩ සිරිපා කරුණා කිරීමට ආව ගියේ මහත් වූ බැති බරවය.
මේ සිරිපා වන්දනාව උප සංස්කෘතියක් තුළ ක්‍රියාත්මක වූ කාර්යයකි. ඉතා දුර බැහැර සිට යෙදෙන අති දුෂ්කර වන්දනා ගමනක් බැවින් ඒ සඳහාම භාවිතා කිරීමට වෙන් වූ වචන මාලාවක් සිරිපා වන්දනාවට එකතු විය. ලොකු කුඩා කවුරු වුවද පළමු වතාවට සිරිපා වන්දනාවට යෙදෙන්නේ නම් ඔවුන් හඳුන්වනු ලබන්නේ කිරිකෝඩු මහකෝඩු වශයෙනි. තම උරහිසෙහි රැඳුනු ගමන් මල්ලට සැහැල්ලුද නඟින බහින වචන වෙනුවට “කරුණා කරන්න” ඉතා ළබැඳි ආමන්ත්‍රණයකි. මෙවැනි දේ අද සිරිපා කරුණා කරන අය අතර ඇත්නම් ඒ කෙනෙක් දෙදෙනකු අතර විය හැක.
අද සිරිපා වන්දනා ගමන වන්දනා ගමනක්ද විනෝද ගමනක්ද යන්න පවා තේරුම් කරගත නොහැකි තැනකට පත්ව ඇත. අප දැන හෝ නොදැන මේ උදාර වන්දනා ගමන වාණිජකරණයට ලක්ව ඇත. සිරිපා කරුණා කරන බැතිමතුන් අති බහුතරයක් ගමන් ගන්නා වූ නල්ලතන්නියේ සිට උඩමළුව දක්වාම සිත සනසන දේට වඩා සිත පාරන දේ නෙත ගැටීම අරුමයක් නොවේ. එදා සිරිපා වනපෙතෙහි කාගේත් සිත සැනසූ තුන්සරණයේ කවියක් අද ඇසේ නම් ඒ කලාතුරකිනි. ඒ වෙනුවට ඇසෙන්නේ උසුළු විසුළු පමණකි. සිරිපා වන්දනාව සම්බන්ධ උප සංස්කෘතියක් පිළිබඳ වෙනම සාකච්ඡා කළ යුතු තැනකට පත්ව ඇත.
කෙසේ වුවත් මේ සිරිපා වන්දනා සමය නිසා එදා පුරාණයේදී පළමු විජයබාහු රජු අඹගමු සෙල්ලිපියේ අකුරු කර අපට කියාදුන් පාඩම එක වරක් නොව දහස් වරක් කියවිය යුතු පාඩමකි. ඒ අපේ පෞඩ අතීතයට ගෞරවය පුද කිරීමටය.
2. නුවරඑළියේ ලෝක සාමයේ ගසට අවුරුදු 99යි
ක්‍රි.ව. 1914-1918 දක්වා ක්‍රියාත්මක වූ පළමු ලෝක යුද්ධය අවසන් වී මෙම වසරට අවුරුදු සියයක් සපිරේ. එම කුරිරු යුද්ධයෙන් කම්පනයට පත්ව එම්.එන්. වෙඩර්බන්ඩ් නම් ආර්යාව ලෝකයට සාමය ප්‍රාර්ථනා කරමින් නුවරඑළියේ සිටවනු ලැබූ සාමයේ ගසට අවුරුදු 99ක් වේ. ඒ ක්‍රි.ව. 1918.07.19 දිනටය. අවුරුදු අනූනවයක් වූ මෙම යෝධ සයිප්‍රස් ගස ලෝකයට සාමය අපේක්ෂාවෙන් අහස උසට විහිදී අද ද අප හමුවේ දිස්වේ.
ලෝක සාමය වෙනුවෙන් මිහිපිට සිටවූ මෙම සාම ගස අපට බොහෝ පණිවුඩ ගෙනදෙන්නේය.
අවුරුදු 30ක කාලයක් මෙරට පැවති කුරිරු යුද්ධය පැහැදිලි කරගත නොහැකි තරමට අපේ ජන සමාජය උඩියටිකුරු කළේය. ඒ අමිහිරි යුගයක් අපි සැවොම අකැමැත්තෙන් වුවද විඳගත්තෙමු. එහි ප්‍රතිවිපාක අප නෙතට කඳුළින් ගෙනදීමට සමත්විණ.
එවන් පසුබිමක වසර සියයකට පෙරදී මුළු ලෝකයම වෙළාගෙන සිව් වසරක් පුරා පැවති පළමු ලෝක යුද්ධය අවසන් වී වසරකට පසු එම යුද්ධයෙන් පීඩා විඳි කාන්තාවක් ලෝකයට සාමය ප්‍රාර්ථනා කරමින් ගසක් රෝපණය කළාය. ඒ ක්‍රි.ව. 1915-1919 කාලය තුළ නුවරඑළිය සහකාර ආණ්ඩුවේ ඒජන්තවරයා ලෙස කටයුතු කළ එම්.එම්. වෙඩර්බන්ඩ් මහතාගේ බිරිද වූ එම්.එම් වෙඩර්බන්ඩ් ආර්යාවයි. 1919 ජූලි 19 දින නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයට එක් වී උදාරතර ප්‍රාර්ථනාවකින් යුතුව ඇය කුඩා සයිප්‍රස් පැළයක් එහි රෝපණය කළාය. අද එය අඩි 100ක් පමණ උසට විහිදී ගිය යෝධ සයිප්‍රස් ගසකි.
යුද්ධයක් හමුවේ දැඩි ලෙස පීඩා විඳින්නෝ කාන්තාවෝමය. එය මැනවින් විඳගත් එම්.එම්. වෙඩර්බන්ඩ් ආර්යාව තම හදවතේ උපන් සාමයේ බලවත් අරුත අදද ලෝකය හමුවේ ජීවමාන සාක්ෂියක් වැනිය.
සිව් වසරක් පුරා යුරෝපය, ආසියාව හා අප්‍රිකාව ඇතුළු මුළු ලෝකයම වෙළාගත් යුද්ධය ජාතිවාදයේ තරගය ධනපති ආර්ථික ක්‍රමයේ වැඩීයාම යුද්ධයට හේතු වූ කරුණු කාරණා බව පොතපත අපට කරුණු කියා දේ. එම යුද්ධයට එක්වූ පාර්ශ්වකරුවන් කඳවුරු දෙකක බෙදී ඇත. මිත්ර පාක්ෂිකයින් වෙනුවෙන් රටවල් බොහොමයක් එක් වී ඇත. ඒ බ්‍රිතාන්ය, බ්‍රිතාන්ය අධිරාජ්ය, ප්රංශය, රුසියාව, ඉතාලිය, ඇමරිකාව, එක්සත් ජනපදය, බෙල්ජියම, සයිබීරියාව, ජපානය, චීනය, රුමේනියාව, ග්‍රීසිය හා පෘතුගාලය ඇතුලු තවත් රාජ්‍යයන්ද රැසකි.
යුද්ධයට අනුගත වූ අනෙක් පාර්ශ්වකරුවන් වී ඇත්තේ ජර්මනිය ප්‍රධාන ඕස්ට්‍රේලියාව තුර්කිය හා බල්ගේරියාවයි. යුද්ධයට කඳවුරු බැඳගත් රටවල ඒ ඒ පුරවැසියන්ගේ සංස්කෘතික පවුරු පදනම් සුනුවිසුනු කරමින් ඒ වෙනුවට වෛරය, ද්වේශය, ක්‍රෝධය උරුම කර දීමට යුද්ධය බලවත් වී ඇත.
කෙසේ වුවත් යුද්ධයට එක්වූවෝ යුද්ධයේ අනිසි ඵලවිපාක 1917 වසරේ කාටත් අවබෝධ වී තිබුණද එහි මැනවින් විඳගත් රටවල සාමාන්ය ජනතාව සාමයේ අවශ්‍යතාවය ප්‍රාර්ථනාව වී ඇත. එය යථාර්ථයක් කරගත් එවක ඇමරිකානු ජනපති වුඩ්රෝ විල්සන් මහතා විසින් කරුණු 14 ඇතුළත් යෝජනාවලියක් මත කැඳවූ සාම සාකච්ඡාවක ප්‍රතිඵලයක් මත 1918 නොවැම්බර් 11දා පළමු ලෝක යුද්ධය තාවකාලිකව නතර වී ඇත. එයට යුද්ධ අවසන් වීමට හේතු කාරණා වූ බව සඳහන් වේ.
අවුරුදු 4ක පළමු ලෝක යුද්ධය නිසා ඇති වූ කම්පනය ලෝකයට කෙසේ දැනුනාද? එසේ නම් අවුරුදු 30 අප රට වෙළාගත් කුරිරු යුද්ධය අපට කළ බලපෑම් මෙපමණ යැයි කිව නොහැක. එය අමතක කරන මෙරට මිනිසුන්ට මෙම ගසක කතාවද වැදගත් වන්නේ දැයි සිතේ.
වසර අනූනවයකට පෙර එම්.එම්. වෙඩර්බන්ඩ් ආර්යාව ලෝකය සාමය පතා සිට වූ ගස තව කාලයක් සාමයේ පණිවුඩය නව ලොවට කියන්න නුවරඑළියේ වැජඹෙනු ඇතැයි අපේක්ෂා කරමු.
3. නුවරඑළියේ සුද්දන් ගොඩනැගිලි හැදූ ඉංජිනේරු කාර්යාලය
ඉංග්‍රීසින් විසින් මෙරට පුංචි එංගලන්තය ලෙස නම් කර ඉදිකළ නුවරඑළිය නගරයට අවුරුදු 190 ක් සපිරුණු බව අපි අභිමානයෙන් යුතුව ඉකුත්දා සටහනක් තබා රටට කියා සිටියෙමු.
බ්‍රිතාන්‍යයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුකූලව ඉතා ක්‍රමානුකූලව විධිමත් අයුරින් තමන්ට අවශ්ය වූ ගොඩනැගිලි ඉදිකිරීමට එදවස ඉංග්‍රීසීහු වගබලා ගත් බව මීට වසර 30– 40 කට පෙර නුවඑළිය පිළිබඳ මතකයක් ඇති අයගේ මනස් තුළ ඒ සොඳුරු පුංචි නුවරඑළියේ හැඩරුව නිරූපණය වනු නොඅනුමානය.
නගරයේ මැද විද්‍යමානවූ ලීයෙන් තැනූ දෙමහල් පුරහල ඊට කදිම නිදර්ශනයකි. අද දවසේ නුවරඑළිය නගරයට සේන්දුවන ඕනෑම කෙනෙකුගේ ෙනත සිත වසඟ කරන දර්ශනීය තැපැල්හල නුවරඑළිය සලකුණ බඳුය.
1828 වසරේ එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා නිවාඩු නිකේතනයක් ලෙස ඇරඹු නුවඑළිය තුළ මුල් කාලයේ ඔවුන්ගේ නිවාස වරිච්චි බිත්තිවලින් ගොඩනගා ටකරන්වලින් වහළවල් සකසා ඊට ඉහළින් මානකොළ අතුරා සීතල වළකා ගත් බව තොරතුරු කියැවේ. එසේ සෑදූ නිවෙස් ඇතුළත සීතලගතිය පහව යාමට කණු උඩ සවිකළ ලෑලි යොදාගෙන තිබුණද එදා නුවරඑළියේ ඉදිකළ ප්‍රාථමික ගොඩනැගිලිවලට මානාකොළ කැපූ ප්‍රදේශය අද සදතැන්න නොහොත් මුන්ප්ලේන්ස් ලෙස භාවිතා කරන ගම්මානයයි.
කෙසේ වුවත් 1848 වසරේදී නුවඑළිය ගොවිපළක් ආරම්භ කළ සර් සැමුවෙල් බේකර්ගේ ආගමනයෙන් පසු වරිච්චි බිත්තිවලින් සැකසූ ගොඩනැගිලි යම් තරමක් දියුණු තත්ත්වයකට පත්කරමින් ඉංග්‍රීසින් තම නිවාස ඉදිකිරීමට කටයුතු කර ඇත. ඒ අතර ඩබ්ලිව්. ඩෙල්ප් ජෝන්මොරිස්, සිහොව්, ටීලෝසන්, ටී. මැන්කොර්මින්, යන අය තම නිවාසවලට වැඩි අගයක් දී ක්‍රියාකළ පුද්ගලයන් වුණි. ඔහු නුවරඑළිය ස්ථීර පදිංචිකරුවන් නිසාය.
ක්‍රමාණුකූලව නුවරඑළිය නිවාස නිකේතනයකින් බැහැරව කුඩා නගරයකට අවශ්ය පොදු ගොඩනැගිලි ඉදිකිරීමට ඉංග්‍රීසි පාලකයින් කටයුතු කර ඇත. ඒ සමඟ නුවරඑළිය නගරයට අවශ්ය උපාංග නිර්මාණය කිරීමට ඔවුහු කටයුතු කළහ. ඉතිහාස තොරතුරු මත 1873 වසරේදී තුරග තරග පිටිය නිර්මාණය කිරීම 1874 වසරේදී ග්‍රෙගරි වැව නිර්මාණය කිරීම එදවස බාන්ස් ආණ්ඩුකාරවරයාගේ නිල නිවස ලෙස භාවිතා කළ නිවාස 1883 දී ග්‍රෑන්ඞ් හෝටලය නම් සුවිශේෂී ගොඩනැගිල්ල නිර්මාණය කිරීමද සුවිශේෂී සිද්ධියකි. 1883 දී මධ්යම වෙළෙඳපොළ ඉදිකිරීම, 1885 දී බැරක් ප්ලෙන් වැව නිර්මාණය කිරීම 1889 නුවරඑළිය ගෝල්ෆ් ක්‍රීඩාංගනය නිර්මාණය කිරීම 1893 දී නුවරඑළිය රැජින නිවාසය (ජනපති මන්දිරය) අද 1894 ලෝක ප්‍රසිද්ධ නුවරඑළිය තැපැල්හල ඉදිකිරීම් 1885 බේකර් වාට්ටුව ඉදිකිරීම 1897 වික්ටෝරියා උද්‍යානය ඉදිකිරීම සුවිශේෂී නිර්මාණයන් වේ. ඒ හැර ඉංග්‍රීසි ජාතිකයින් ඉදිකළ සුවිශේෂ වූ බ්‍රිතාන්ය ගෘහනිර්මාණ ශිල්පය ක්රමයට ගොඩනැගිලි සමූහයක් අද නුවරඑළිය තැන තැන දැකගත හැක.
ඒත් සමගම ඉංග්‍රීසි ජාතිකයින් ආගමික කටයුතු සඳහා 1833 ඉදිකිරීම අරඹා 1852 පෙබරවාරි මස විවෘත කළ එංගලන්ත සභාවට අයත් දේවස්ථානය ඉංග්‍රීසිහු ඉදිකළ ප්‍රධාන ගොඩනැගිල්ලක් වේ.
අවුරුදු 190 ක් සපිරෙන නුවරඑළිය නගරයේ අද දිස්වන සුවිශේෂ ගොඩනැගිලි අති බහුතරය 1880 – 1900 දක්වා කාලයේ නිර්මාණය කළ ඒවා වේ. ඒ ගොඩනැගිලි වැව් මාර්ග ඇතුළු අනෙකුත් අංග නිර්මාණය කිරීමට ඉංජිනේරු සහාය ලබාගැනීම සඳහා ඉංග්‍රීසිහු පැරණි හමුදා කදවුරකට ආසන්න කාර්යාලයක් ගොඩනගා ගත්හ. ඒ ඉංජිනේරු කාර්යයන් සඳහා අවශ්ය වෙඩි බෙහෙත් ආරක්ෂා කර ගැනුමට 1887 දී ඉංග්‍රීසිහු ආරක්ෂිත ගොඩනැගිල්ලක් ඒ කාර්යාල අංගනයේම ඉදි කළහ. අද ද එය අප කාටත් දැකගත හැකි ගොඩනැගිල්ලකි.
මෙම ඉංජිනේරු කාර්යාලයේ ඉංජිනේරුතැනගේ කාර්යාලය ඉතා කුඩා ගොඩනැගිල්ලක තිබුණු අතර එහි බිත්ති වරිච්චි බිත්තිවලින් සැකසූ එකකි. ඒ මත බදාම ගසා සකස්කර තිබෙන එකක් වේ. ඉංජිනේරු කාර්යාලය නමින් දොරේ උලුවස්ස තුළ ලී කැටයමින් ඉංග්‍රීසීන් සටහන් කර ඇති අකුරුවැල අද දකින්න පිළිවන. ඒත් සමගම ලේකම්වරයාගේ කාර්යාලය මෝටර් රථ ගරාජය අශ්වගාල හා දැව ගබඩාවද ලීයෙන් අකුරු කර තිබීමද විශේෂ සිද්ධියකි. එදවස භාවිත කළ මෙම ඉංජිනේරු කාර්යාලයේ මුදල් සේප්පුවද අද දකින්න පිළිවන. සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා ඇරඹූ නුවරඑළිය (පුංචි එංගලන්තය) නිර්මාණය කිරීමට දායක වූවන් අතර සර් හෙන්ඩ්රි ග්‍රෙගරි, සර් හැමිල්ටන් ගෝල්ඩන්, සර් ආතර් හැව්ලොක්, සර් වෙස්ට් රිජ්වේ, සර් විලියම් නොර්ටන්, ටොරින්ටන් සාමි යන ආණ්ඩුකාරවරුන් මහත්සේ දායකවී ඇත. එයින් සර් හැමිල්ටන් ගෝල්ඩන්, සර් ආතර් හැව්ලොක් යන ආණ්ඩුකාරවරු විශේෂ තැනක් ගනිති. ඔවුන් මෙම ඉංජිනේරු කාර්යාලය මැනවින් ප්‍රයෝජනයට ගත්බව නුවරඑළිය දෙස බලන කල මනාව දිස්වන කරුණකි.
එදා ඉංග්‍රීසින්ගේ රජයේ ඉංජිනේරු කාර්යාලය පසු කාලයේදී රජයේ වැඩ දෙපාර්තමේන්තුව කාර්යාලය බවට පත්විය. ඉන්පසු එය මහාමාර්ග කාර්යාලය ලෙස ද කාලයක් භාවිත කරන ලදී. අද එම කාර්යාලය ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කාර්යාලය ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයට මහත් මෙහෙවරක් කරන රජයේ කාර්යාලයකි.
4. මෙරට අලි ඇතුන් 1500ක් මරා දැමූ ඉංග්‍රීසි ජාතික මේජර් තෝමස් විලියම් රොජර්ස්ගේ සොහොන
මේ දිනවල රටේ මහසම්පතක් වන අලි-ඇතුන් පිළිබඳ මහා කතිකාවතක් ගොඩනැගී ඇත. අලි මිනිස් ගැටුම් නිරතුරු අපේ මුළු මහත් සමාජයටම ප්‍රශ්නයක්ව ඇත. ගම්දනව්වල අහිංසක මිනිස්සු අලින්ට ගොදුරුවන අතර තැන තැන වෙඩි වැදී මියගිය අලීන්ගේ සිරුරුද හමුවේ. පරිසරවේදීහු තමන් දන්නා භාෂාවෙන් අලි-ඇතුන් පිළිබඳව රට හමුවේ කරුණු ඉදිරිපත් කරති. එහෙත් අපේ රටේ වටිනා අලි ඇතුන් රටට අහිමි වී යමින් පවතී. ඉකුත් දා දළ ඇතාගේ මරණය මෙරට සංවේදී මිනිසුන් මහ කම්පනයට පත් කෙරිණ. එය කළවුන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බව බොහෝදෙනා කියන්නට වූහ.
අද මෙන්ම එදා ඉංග්‍රීසීන්ගේ පාලන සමයේද අපේ අලි ඇතුන් ඝාතනයට ලක්විණ. ඒ ඉංග්‍රීසිහු එදා තමන්ගේ විනෝදාංශයක් ලෙස අලි-ඇතුන් දඩයම් කර තමන්ගේ දක්ෂතාව අන් අය ඉදිරියේ ප්‍රදර්ශනය කළහ. ඉංග්‍රීසි සමයේ අලි ඇතුන් දඩයමට අතිදක්ෂයින් කීපදෙනකුගේ නම් කියැවේ. ඒ අතර මේජර් තෝමස් විලියම් රොජර්ස්, සර් සැමුවෙල් බේකර්ගේ නම් ඉදිරියෙන් කියැවේ. ඔවුන් අතරින් මෙරට අලි-ඇතුන් 1500ක් පමණ දෙනා මරා දමා ඉංග්‍රීසි පාලන සමයේ කළු පැල්ලමක් එක් කළ මේජර් තෝමස් රොජර්ස් ගැන අද ද නුවරඑළිය වැඩිහිටි ජනතාව කතාබහ කරති. ඒ ඔහුගේ සොහොන නුවරඑළියේ පිහිටි නිසාය.
1824 ජනවාරි 04 දින ශ්‍රී ලංකාවේ රයිෆල් බළකායේ මේජර්වරයකු ලෙස මෙරට සේවයට එක්ව ඇත. දක්ෂ හමුදා නිලධාරියෙකු වූ මේජර් තෝමස් 1834 දී බදුල්ල සහකාර ආණ්ඩුවේ ඒජන්ත හා විනිශ්චකාර ධුරයට පත්ව ඇතිබව වාර්තා වේ.
තමාට නිවාඩුවක් ලැබුණු හැම මොහොතකම අලි ඇතුන් දඩයමට හුරුවූ රොජර්ස් අලි ඇතුන්ට ද හොර රහසේ උන් ළඟටම ගොස් දඩයම් කිරීමට අතිදක්ෂයෙකු බවට ඉංග්‍රීසින් අතර ජනප්‍රිය වී ඇත.
මේජර් තෝමස් රොජර්ස් දඩයම එරෙහිව ඌව පළාතේ මහා සංඝයා වහන්සේලාද දැඩි අප්‍රසාදය පළ කළ අතර ඔහුට නිසි දඬුවම් කවදා හෝ හිමි වන බවට සපථ කළහ. එය කෙසේවුවත් 1845 ජූලි 07 දින මේජර් තෝමස් රොජර්ස් හපුතලේ ප්‍රදේශයේ රාජකාරියට ගොස් පැමිණෙමින් සිටියදී අතරමගදී අකුණු සරයක් වැදී මියගොස් ඇත. මියගිය මේජර්වරයාගේ සිරුර හිතවතුන් විසින් නුවරඑළියට ගෙනැවිත් භූමදාන කර ඇත.
එම සොහොනටත් වසරකට වතාවක් අකුණුසැර වැදුණු බව නුවරඑළිය පැරන්නන්ගේ මතය වේ. මීට වසර කීපයකට පෙරද එම සොහොනට ආසන්න තැනක වූ විශාල සයිප්‍රස් ගසකට අකුණක් වැදී ගස දෙපලු වී බිම ඇද වැටුණි.
අද ද නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජශාලාවට පසුපස ඇති ඉංග්‍රීසීන්ගේ පැරණි සොහොන් භූමියේ ඇති මේජර් තෝමස් රොජර්ස්ගේ සොහොන දකින්නට පිළිවන. එම සොහොනට අකුණු සැර වැදී දෙපලු වී ගිය සොහොන්ගල පසු කාලයකදී ඉංග්‍රීසින් විසින් යළි ප්‍රතිසංස්කරණය කළ ලක්ෂණද අද එම සොහොන්ගලෙන් දැකගත හැකිය.
අපේ වටිනා සම්පතක් වූ අලි ඇතුන් මරා දැමූ පාපයට අකුණු සරයක් වැදී මියගිය මේජර් තෝමස් රොජර්ස්ට මියයන්නට සිදුවූවාසේම අද දවසේද අපේ උරුමයක් වූ අලි-ඇතුන් මරා දමා සල්ලි සොයන අමනයින්ට අත්වන ඉරණමද කෙබඳු එකක් වේදැයි මෙරට කවුරුත් බලා සිටිති.
5. අගවිනිසුරුට මරු කැඳවූ නුවරඑළියේ පොලීසිය
ඉංග්‍රීසීන් ගොඩනැඟූ නුවරඑළිය නගරය එදා සිට මේ දක්වා සංචරකයින්ගේ ආකර්ෂණයට ලක් වූ පුංචි නගරයකි. ගොවීන්ගේ නගරයක් ලෙස කලක් නම් කළ නුවරඑළිය නගරය දේශීය හා විදේශීය සංචාරකයින්ගේ මනස පිනවන තැනක් වී ඇත. අද වෙනවිට සතිඅන්ත නිවාඩු දිනයක් උදාවෙත්ම දේශීය සංචාරකයින්ට නවාතැන් පහසුකම් ලබාදෙමින් තම ආර්ථිකය ශක්තිමත් කරගන්නා වූ පිරිස බොහෝය.
නගරයේ පවතින ප්‍රධානපෙළේ සංචාරක හෝටල්, නිවාඩු නිකේතන හා නවාතැන් පොළවල් බොහෝය. තම පදිංචි නිවසේ කාමරයක් කුලියට දී ගනුදෙනුවක් සොයා ගන්නා අයද ඒ අතරට එක් වේ. උපරිම පහසුකම් මෙන්ම අවම පහසුකම්ද මේ ක්ෂේත්‍රයේ වේ. වසර කීපයකට පෙරදී තරුණ යුවලක් අවම පහසුකම් සහිත වූ කාමරයක ලැගුම් ගෙන ගල් අඟුරු තිබූ උඳුනක් කාමරය තුළ තබාගෙන සීතල රැය පහන් කරන්නට දැරු උත්සාහය මරණයෙන් කෙළවර වූ බව අපට මතකය. එවැනි පහසුකම් රහිත වූ නිවාඩු නිකේතන ඉංග්‍රීසීන් ගොඩ නැංවූ පුංචි එංගලන්තයේ එදා තිබුණු බවට තොරතුරු කියන තැනකි නුවරඑළිය පැරණි පොලිස් ස්ථාන ගොඩනැගිල්ල.
ඉංග්‍රීසීන්ගේ පැරණි සොහොන්පොළ තුල අපට හමුවෙන සුවිශේෂ සොහොන් ගල් කීපයකි. 1838 මැයි 19 දින මියගිය ‘ශ්‍රීමත් විලියම් රෝගින්’ අවුරුදු 64ක් වයසැති සොහොන එම සොහොන් ගලේ ‘අගවිනිසුරු’ ලෙස සටහන් වී තිබීමද වැදගත් වේ. නුවරඑළිය නගරය ගැන අධ්යයනය කිරීමේදී අවුරුදු 185 කාලයක් ගෙවුණ ද නගරය නිර්මාණය වූ මුල් කාලය තුළදී සෞඛ්ය පහසුකම් ඉතා අවම මට්ටමක තිබුණු බව වාර්තා වේ.
1970 දශකයේ මුල් කාලයේදී මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද ශූරීන් විසින් ලියූ එදා සහ අද යන වාර්තාවකට අනුව පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති නුවරඑළිය පැරණි පොලිස් ස්ථානයට අයත් ගොඩනැගිල්ල එදා 1830 දශකයේ සිට රජයේ තානායමක් ලෙස පවත්වාගෙන පැමිණ ඇත.
එම තානායමේ ලැගුම් ගෙන ආහාරපාන ගත් ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරයෙකු හා තවත් සිව් දෙනෙකු හදිසියේ මියගොස් ඇති බව කියැවේ. මෙම හදිසි මරණයන් පිළිබඳව බ්‍රිතාන්ය ජාතික පාලකයින් විසින් (කොමිසමක්) පත්කර පරීක්ෂණයක් සිදුකර ඇත. එහිදී තානායමේ තිබුණු අවම පහසුකම් හේතු කොටගෙන අගවිනිසුරුවරයා ඇතුළු සිව්දෙනා ‘‘කොළරාව’’ වැළදී මියගොස් ඇති බව තහවුරු කරගත් බව කියැවේ.
1877දී ලබාදුන් එම කොමිෂන් වාර්තාව අනුව නිර්දේශ 5ක් ඉදිරිපත් කර ඇත. වළ වැසිකිළි වෙනුවට බාල්දි වැසිකිළි භාවිතය, තලගල ඔයේ දිය නෑම වැළැක්වීම ඒ අතර ප්රධාන වේ. ඒ සමඟම නුවරඑළිය නගරය සඳහා ප්රථමවරට 1886 නගර පාලක මණ්ඩලයක් පත්කිරීමද ඒ නිර්දේශ අතර වේ. කෙසේ වුවත් ඉංග්රීසින් පැරණි සොහොන්පොළේ ඇති අගවිනිසුරු සොහොනක් නුවරඑළිය පැරණි පොලිසියේ පවත්වාගෙන ගිය රජයේ තානායමේදී මියගිය අගවිනිසුරුවරයා එක් අයෙකුද යන්න පැහදිලි නැත. ඊට හේතුව අගවිනිසුරු මියයෑම කොමිෂන් වාර්තාව ප්රකාශ වීම අතර වසර 29ක් වෙන නිසාය.
කෙසේ වුවත් අගවිනිසුරුවරයෙකු ඇතුළු සිව්දෙනෙකු මියයෑම නිසා කොමිසම ක්රියාත්මක වී නුවරඑළිය නගරය විධිමත් ලෙස සකස් කිරීමට ඉංග්රීසීහු පියවර ගෙන ඇත. ඒ අනුව 1886 නගරය සෑදීම සඳහා ඉඩම් වෙන්කිරීම 1896දී ප්රථම පළාත් පාලන ආඥාවක් නිකුත් කිරීම ඒ අතර වේ. ක්රමානුකූලව නගරයට අවැසි දේ එතැන් සිට සම්පාදනය වෙමින් ඇති බව නුවරඑළිය ගැන විමසීමේදී පෙනෙන්නට තිබේ. ඒ හේතුව නිසාම 1921 වසරේ නුවරඑළිය සංවර්ධන මණ්ඩලයක් ස්ථාපිත වී 1931 දක්වා එම මණ්ඩලය නුවරඑළිය තුළ ක්රියාත්මක වී ඇත. 1932 වසරේදී සුළු නගර සභාවක් බවට පත් වූ නුවරඑළිය සංවර්ධන මණ්ඩලය 1949 වසරේදී මහානගර සභාවක් බවට පරිවර්තනය වී ඇත. එදා අවුරුදු 174කට පෙරදී අගවිනිසුරුවරයකු ඇතුළු සිව්දෙනෙකු කොළරාව වැල ඳී මියගිය නගරය අද ශ්රී ලංකාවේ සොඳුරුතම පාරිසරික පාරාදීසය බවට පත්ව ඇත. එයට ඉවහල් වූ නුවරඑළිය පැරණි පොලිස් ගොඩනැගිල්ල අද ද නව පොලිස් ස්ථානය 2000 පෙබරවාරි 16 දින විවෘතවීමෙන් පසු නුවරඑළිය මූලස්ථාන පොලිසිය අසල පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් මත සංරක්ෂණය කෙරේ. මෙම ගොඩනැගිල්ල නුවරඑළියේ සලකුණක්ද වේ.
6. තිස්වසරකට පෙර ‘මරාදැමූ’ නුවරඑළියේ ග්ලේන්
ඉංග‍්‍රීසින් විසින් 1828 දී ඇරඹූ නුවරඑළිය පාරිසරික පාරාදීසයක් බව දෙස් විදෙස් කාගේත් මතයයි. එහෙත් අද මෙම සොඳුරු පාරාදීසය දින දින මහත් අර්බුදයකට යමින් පවතී. ගෙවුණු දශක 04ක පමණ කාලයක සිට නුවරඑළිය හැඩකළ සුන්දර පාරිසරික වටපිටාවට විශාල බලපෑම් එල්ලවී ඇත. එදා අප දුටු සුන්දර නුවරඑළිය අද දැක ගත නොහැකි බව නුවරඑළියට එන යන අයගේද මතයයි. ඊට විවිධ හේතු පදනම්වී ඇති බව නොරහසකි.
මෙවන් වූ පරිසරයක් තුළ නගරයට සුන්දරත්වය එක්කළ ග්ලෙන් නුවරඑළිය නගරයේ සියලුම වැසියන් බලා සිටියදී මිය යෑම පිළිබඳව අද දවසේදී කතාබහක් කළ යුතු තැනකට පත්ව ඇත.
1828 දී නුවරඑළිය නගරයක් බවට පරිවර්තනය කර සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ කාර්ය මණ්ඩලය ඔහුගේ නිල නිවාසයට යාබද ප‍්‍රදේශයක පදිංචිවී සිටි බවට ඕනෑතරම් තොරතුරු එකතු කළ හැක. එම නිවාස පද්ධතියට ඉහළින් මීටර් 60 – 70ක් පමණ උසැති දර්ශනීය දිය ඇල්ලක් ඇදහැළී ඇත. එම දිය ඇල්ලට ග්ලෙන් යන නාමය අාදේශ වී ඇත්තේ බාන්ස් ආණ්ඩුකාරවරයාගේ කාර්ය මණ්ඩලයේ කාගේ හෝ නමක් විය හැක. එහෙත් අද මෙම දිය ඇල්ල දකින්න නොහැක. නමුත්, ග්ලෙන් ෆෝල් යන නමින් මාවතක්ද එම මාවත ඔස්සේ ග්ලෙන් ෆෝල් නමින් හෝටල් ගණනාවක් ද ශේෂ වී ඇත. වැසි දිනවලට පමණක් දැක ගත හැකි ග්ලෙන් දිය ඇල්ල නුවරඑළියේ නගර වැසියන්ට එතරම් වටිනාකමක් ඇද්ද යන්න පිළිබඳව ප‍්‍රශ්නයක් නිර්මාණයවී ඇත. ඒ නුවරඑළියේ අද පාරිසරික වටපිටාවට වඩා වාණිජ ව්‍යාපාරවලට නතුවී ඇති නිසායි.
දශක 04ක කාලයක සිට නුවරඑළිය නගරය ආශ‍්‍රිත අක‍්‍රමවත් ඉඩම් පරිහරණයක් සිදුවූ බව නොරහසකි. නුවරඑළියේ පැවැති ජල මූලාශ‍්ර, ජල පෝෂිත ප‍්‍රදේශ හා තෙත් බිම් ගණනාවක්ද වාණිජත්වය විසින් යටකරගෙන ගොඩනැගිලි ඉදිවිය. නගරය අවට කඳුද ආක‍්රමණය කරමින් කෙරුණු අක‍්‍රමවත් ඉඩම් පරිහරණය අදට වඩා හෙට දවසේදී නුවරඑළියට බලපෑම් එල්ල කිරීම නොවැළැක්විය හැකි කරුණක් බව පරිසරවේදීන්ගේ මතයයි. 1960 දශකයේ අග භාගයේදී නුවරඑළියට ආදේවර්ග කි.මී. 12.43කින් සමන්විත නුවරඑළිය නගරය 1828 දී ඉංග‍්‍රීසින් විසින් ඇරඹුවාට පසු 1848 දී සැමුවෙල් බේකර්ගේ අක්කර 1,000ක ගොවිපළ හේතුවෙන් නුවරඑළිය ගොවීන්ගේ නගරයක් බවට පත්විය. අද මෙම නගරය සංචාරක නගරයක් බවට පත්ව ඇත.
1881 දී නුවරඑළියේ විසූ සහකාර දිසාපතිවරයෙකු වූ එස්.එම්. බාරෝස් මහතා විසින් කළ ජන සංගණනයක වාර්තා අනුව නුවරඑළිය අවට නිවාස 262ක් තිබුණු බවද එම නිවාසවල පවුල් 270ක් සිට ඇති අතර, 1,791ක් දෙනෙකු ජීවත් වූ බව තොරතුරු අනාවරණය වේ. ඉන්පසු නුවරඑළියේ ජනගහනය 1946 වසරේදී 9,840ක් බවට වාර්තා විය. අද ෙවන විට (2017) නුවරඑළිය ජනගහනය 35,000ක් පමණ වන බව කරුණු අනාවරණය විය. (මේ අතර, නගරයට එන සංචාරකයින්ද ඇතුළත් වේ)ශ වූ අර්තාපල් උප සංස්කෘතියද මෙයට විශාල වශයෙන් හේතු කාරණා වී ඇත.
මුහුදු මට්ටමින් අඩි 6,830කින් උසැති නුවරඑළිය සිංගල් ට්‍රී කඳුයායේ බටහිර බෑවුමේ ශාන්තිපුර කලාපුර ඔයට යාබද රක්‍ෂිතය තුළ පිහිටි තෙත් බිම් කිහිපයකින් උපන් ජලධාරා නිසා නිර්මාණය වූ ග්ලෙන් ඇල්ල නුවරඑළිය නගරය හැඩ කරමින් නුවරඑළියට අලෝකයක් ගෙන දුන්නේය. අර්තාපල් උප සංස්කෘතිය හේතුකොටගෙන ග්ෙලන් දිය ඇල්ලට ඉහළ ඉඩම් කොටසක්ද මෙම අර්තාපල් ගොවිතැනට යටවීම නිසා ග්ලෙන් දිය ඇල්ලේ පැවැත්මට මහත් බාධාවක් එල්ල වූ බව පෙනෙන්නට ඇත.
නුවරඑළිය මහා නගර සභාවේ දත්ත අනුව, නුවරඑළිය නගරයේ නිවාස 7,500ක් පමණ වන අතර, ගෘහ ඒකක 5,791ක් ද ව්‍යාපාරික ස්ථාන 3,530ක් ද, රජයේ ආයතන 803ක්ද ඇති බව කියැවේ.
නුවරඑළිය පාරිසරික වටපිටාව තුළ 1881 දී පවුල් 270ක් භාවිතා කළ යටිතල පහසුකම් අතර, පානීය ජලය සැපයීම අද වනවිටත් එහි වැඩිවීමක් දකින්නට නැත. මේ වන විට කඳුපන්ති තුළින් ඇදහැළුනු දිය ඇලි ක‍්‍රමානුකූලව වියැකෙමින් පවතී. ඒ කඳුකරයේ පවතින දේශගුණික රටාවේ වෙනස්වීම්වල හේතුන් නිසාය. කෙසේ වුවත් නුවරඑළියේ පානීය ජල ප‍්‍රශ්නයට විසඳුම් ලෙස මීට දශකයකට පමණ පෙරාතුව ජයිකා ආයතනය විසින් සකස්කර දුන් භූගත ජලය ලබා ගන්නා නළ ළිං ආශ‍්‍රිතව අද නුවරඑළිය නගරයේ ජනතාවගේ පානීය ජල ප‍්‍රශ්නය විසඳීමට නුවරඑළියේ මහා නගර සභාව කටයුතු කර ඇත. එහෙත්, දිනක් දෙකක් දැඩිලෙස හිරු රශ්මිය පතිත වූ අවස්ථාවේදී නුවරඑළියේ පානීය ජල ප‍්‍රශ්නයත් ඇතැම් තැන්වල පවතින බව නොරහසකි.
අද දවසේදී නුවරඑළියේ ඉදිකෙරෙන්නාවූ මහා පරිමාණ හෝටල් සංකීර්ණ හා ව්‍යාපාරික ස්ථානද නවාතැන් පොළවල් සඳහාද හෙට දවසේදී අදට වඩා පානීය ජල අවශ්‍යතාවක් පෙනෙන්ට තිබේ. ඒ අතරම, මේ වනවිට, ඉදිකෙරෙමින් පවතින නුවරඑළිය මහ රෝහල් සංකීර්ණයටද ප‍්‍රමාණවත් ජලයක් නිරන්තරයෙන්ම අවැසි බව පෙනෙන්නට ඇත. මෙවන් වට පිටාවක නගරයට අලංකාරයක් ගෙනදුන් ග්ලෙන් දියඇල්ල යළි සක‍්‍රීය කර ගැනීමට හැකිනම්, හෙට දවසේ මතුවන්නාවූ පානීය ජල ප‍්‍රශ්නයට තරමක් හෝ විසඳුමක් සොයා ගැනීමට හැකිවනු ඇත. මේ වන විටත්, නුවරඑළියේ පවතින පානීය ජල ප‍්‍රශ්නයට විසඳුම් සොයා ගැනීම් සඳහා ඇතැම් දෙනා නළ ළිං ඉදිකිරීමට ද උත්සුක වී ඇත්තේ ඒ නිසාය.
අදට වඩා හෙට දවසේදී නුවරඑළියේ පැවැත්ම ජලය විසින් තීන්දු කරනු ඇත. එබැවින්, නුවරඑළියේ ඉඩම් පරිහරණය, පරිසරය පිළිබඳවත්, ජල මූලාශ‍්ර පිළිබඳවත්, විධිමත් වූ ක‍්‍රියාමාර්ගයක් ගතයුතු කාලය එළඹී ඇත. එසේ නොවුනහොත් කිසියම් වූ මොහොතක ජල ප‍්‍රශ්නය නිසා නුවරඑළිය එක තැනක නතරවනු ඇත.
7. Asia’s Oldest Pipe Organ
This pipe organ is the asia’s oldest pipe organ. This was currently owned by the Holy Trinty Church, Nuwaraeliya. When we visit this on 2015 it was working. Unfortunatley we couldn’t find any historical information from the chief priest of the church.
Special Thanks to Shelton Hettiarachchi Uncle who wrote these articles to Lankadeepa and who is the Father of our team member (Madusanka Hettiarachchi). He is an awarded social worker and a journalist of Lankadeepa (Nuwaraeliya District). He has many experiences about the historical side of Nuwaraeliya and also he has written a book about Nuwaraeliya named as “Nuwaraeliya Salakunu”-නුවරඑළියේ සලකුණු. (http://www.lakdasun.org/forum/index.php?topic=12128.0) I was able to visit these places on my visit to nuwaraeliya in this year.
Thanks for reading!
Sobasiri Team © 2018