Year and Month | 22 July 2018 |
Number of Days | 01 |
Crew | 5 (Sobasiri Team) |
Accommodation | N/A |
Transport | Motor Bicycles |
Activities | Hiking, Nature Exploring, Photography |
Weather | Perfect |
Route | Colombo -> Avissawella -> Ratnapura -> Balangoda -> Haputale -> turn left to Leisure Mount View Holiday Resort -> Sri Ramakrishna Upper Division -> Beragala Mountain -> Devil’s Seat |
Tips, Notes and Special remark |
|
Author | Ranshan Fernando |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
|
හපුතලේ කන්ද නොහොත් හල්දුම්මුල්ල බෙරගල පසුකොට හපුතලේ දක්වා ඇති බදුලු මාර්ගයේ එම කොටස ඉතා අසීරු හා දුර්ග ගමනක් බව ආදි කරත්ත කවිවල පවා සඳහන්ය. බෙලිහුල්ඔය පසුකොට කලුපහන හන්දියෙන් ඇරඹෙන ගලපිටගල අත්භූත මානව රූපය සමග සමීපව තිබෙන යක්ෂයාගේ පඩි පෙළ නම් මාර්ගය ඉදල්ගස්හින්න අසල දී තංගමලය රක්ෂිතයේ පිහිටි යක්ෂයාගේ ආසනය අසලින් දුර්ගය නැවතේ. මේ ස්වභාවික නිර්මාණ එකිනෙක අතර පවතින සමානකම් සොයා යක්ෂයාගේ පඩිපෙළ දිගේ යක්ෂයාගේ ආසනය සොයා ගිය ක්‍රියාදාමය මෙසේය.
ලොවට හුදෙකලාව තිබූ ලංකාවේ අතිශය දුෂ්කර දුර්ග මාර්ගය වන යක්ෂයාගේ පඩි පෙළ මාර්ගය (Devils Staircase Route) යනු මෑත කාලයේ දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රසිද්ධ වූ සංචාරක ඉසව්වකි. (Hiking Destination) ඊට හේතුව වනුයේ අතිශය අබලන් දුර්ග මාර්ගය ඉතා සුන්දර ඉසව්වලින් ගමන්කොට පසෙකින් හෝර්ටන් තැන්නටත් තවත් පසෙකින් ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්දටත් ළඟා විය හැකි බැවිනි.
යක්ෂයාගේ පඩි පෙළ චාරිකාව මීට සය වසරකට පෙර සම්පූර්ණයෙන් සිදුකළ ද නැවතත් ඒ සුන්දරත්වය අභියෝගාත්මකව විඳිමින් තවත් සැඟව තිබෙන අපූරු ඉසව්වක් සොයා යාම අද චාරිකාවේ අරමුණ විය. එය නම් යක්ෂයාගේ ආසනයයි. (Devil’s Seat) එය පිහිටියේ මීටර 1780 ක් පමණ උසැති බෙරගල කන්දෙ මිනිසෙකුට ළඟා විය නොහැකි දැවැන්ත ගල් කුට්ටියක බෑවුමේය. එහෙයින් ඊට යක්ෂයාගේ ආසනය ලෙස හඳුන්වනු ලබයි. මන්ද යක්ෂයකුම විනා මිනිසෙකුට එම ආසනයෙ හිඳ ගැනීමට නොහැකි බැවිනි.
මෙතැන් සිට අප යා යුත්තේ ජී.පී.එස්. (GPS Maps) සිතියම්වලට අනුවය. මන්ද යකාගේ ආසනය පිහිටි බෙරගල කන්ද යනු බෙරගල හන්දියට පෙනෙන කුඩා ඉසව්ව පමණක් නොව ඉන් එහාට විහිදුණු දැවැන්ත කඳු මුදුනක් වූ බැවිනි. මෙය අපට වඩාත් නිවැරදිව සහ පැහැදිලිව දැක ගැනීමට හැකිවන්නේ ඉදල්ගස්හින්න කඳු මුදුනට ගිය විටදීය. බෙරගල කන්ද ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට පිටුපසින් දැකගත හැකිය. බෙරගල කන්ද පිහිටියේ තංගමලය නම් රක්ෂිත වනාන්තරය තුළය. පසෙකින් හපුතලේ බෑවුමත් පසෙකින් ඉදල්ගස්හින්න හපුතලේ දුම්රිය මග හා ඇඩිෂන් බංගලාවත් පිහිටි තංගමලය වනපියස යනු සුන්දර වනපියසකි.
බොහෝ වනජීවී දෙස් විදෙස් ඡායාරූප ශිල්පීන් සහ සංචාරකයන් තංගමලය වනයට පිවිසෙන්නේ පක්ෂීන් සහ අනෙකුත් සත්ව ඡායාරූප ගැනීමටය. දිවියා, වල් ඌරා, ඉත්තෑවා, හාවා, ඕලු මුවා, ගෝනා, දඬුලේනා සහ පක්ෂි විශේෂ මෙහි සිටින අතර බොහෝවිට හෝර්ටන්තැන්න මීට ආසන්න වූ තැනින් සතුන් මෙලෙස සංචාරය කිරීම සිදුවේ.
පටුමාර්ගය දැවැන්ත වළවල් සහිත ලිස්සන සුළු බෑවුම් හෙල්වලට සමාන්තර මගක් දිගේ ගමන් කොට එක්තරා ස්ථානයකට පැමිණියේ ඉන් එහාට වාහනයකින් යාමට නොහැකි වූ හෙයිනි. යතුරුපැදි නැවතු අපි ඉදිරියේ වූ අඩි මාර්ගය දිගේ GPS සිතියමට අනුව කන්ද තරණය පටන්ගත යුතු පහසුම ස්ථානය සොයා ඇදුණෙමු. අඩ හෝරාවක් ගත වන විට අපි තේ වතු අතරින් යමින් මිනිස් පුළුටක් නොමැති ඉසව්වේ අපට නියමිත ස්ථානයට පැමිණියෙමු. මෙතැන් සිට අඩි මාර්ගය මගහැර සෘජුවම වනයට රිංගා ඉහළට ගමන් කළ යුතු වූ බැවින් අපි මාන කැලයට පිවිස ගමන ආරම්භ කළෙමු. නිරෝෂ් සොයුරාගේ කැමරාවට විවේකයක් නොලද අතර ඉදිරියෙන් මධුශංඛ සොයුරා මග සාදාගෙන ගමන් කළේ අප නියම කළ පැමිණි සිතියමට අනුවය.
තවත් හෝරාවක් ගත වන තැන අපි මාන පඳුරු හා ගල් කුට්ටි අතරින් යමින් පයිනස් ගස් පිහිටි කන්දේ ඉහළට පැමිණියෙමු. මෙම කඳු මුදුනේ පැහැදිලි ගල් තලාවක් හෝ නැරඹුම් ස්ථානයක් නොමැති බව අපි කල්තියාම චන්ද්‍රිකා ඡායාරූප හා සිතියම් නිරීක්ෂණයෙන් දැන ගත්තෙමු.
කෙසේ නමුත් කන්දේ කෙලවරවල් වෙත ගමන් කොට අවට පරිසරය නැරඹිය හැකි ස්ථානයක් සොයා ගැනීමට අප අදහස් කළේ පයිනස් කැලය අතරින් සමතලා බිමේ ඇවිද යන ගමන්ය. එකෙණෙහිම අපි කැලය තුළ වූ ගල්තලාවකට ළඟා වූ අතර එහි වූ ගෝනෙකු අපි දැක බියට පත්ව වන පියස අතරින් දිව ගියේ ඇසිල්ලකිනි. අඛණ්ඩ දුෂ්කර කඳු තරණයක නියැළුණ හෙයින් ගතේ විඩාව යනු පිණිස අප ගල්තලාව මත වැතිර ගත්තෙමු. එහිදී අප ගෙන ආ බිස්කට් සහ ජලය පානය කර සිතියමේ පරිදි කන්දේ උසම ස්ථානය සොයා කඳු ගැටය කෙළවර දිගේ යාමට අපි සූදානම් වුණෙමු.
පසුව අප මීටර් 1780 ට ඉහළින් පිහිටි කන්දේ එක්තරා කෙළවරකට පැමිණි අතර එහි දී අපට හක්ගල කඳුවැටිය, පිදුරුතලාගල, තෙබු පලකන්ද, වැලිමඩ හා ඉන් එහාට පරිසරය දැක ගැනීමට හැකිවුණි. එහිදී අසල වූ ගසකට නැග තවදුරටත් නිරීක්ෂණයේ දී කන්ද බටහිර දෙසට යන බැවින් අපි එදෙසට ගමන් කළෙමු. ක්‍රමයෙන් තංගමලය රක්ෂිතයේ උසම ඉසව්වට ළඟාවනු අපට දැනුණු අතර වසර ගණනකට පෙර භාවිත කර ඉවත් කරන ලද විශාල ඉටි රෙද්දක් තිබෙනු අපි දුටුවෙමු. එහි ළඟා වූ පසු අපි ඊට ඉහළින් පිහිටි කඳු ගැටයට නැග ගත්තේ ඇසිල්ලකිනි.
එහි දී අපගේ වෑයම සාර්ථක කරමින් කන්දේ උසම ස්ථානයට අප ළඟා වූ බව දැනගත්තෙමු. එනම් මිනින්දෝරු සලකුණ එහි වූ හෙයිනි. කුඩා ඊතලයක් වැනි හැඩය කුඩා කොන්ක්‍රීට් කොටසක පොළොව තුළ මඳක් ඉහළට එක ලෙස නිමවා තිබූ අතර එම ඉසව්ව ලී යොදා ආවරණය කොට තිබුණි. මාස කිහිපයකට පෙර මෙම කර්තව්‍යය කරන්නට ඇතැයි සිතුණේ තවමත් කුඩා අට්ටාලයක් එහි තිබූ හෙයිනි. කොන්ක්‍රීට් වැඩවලට ගෙන ආ ඉටිරෙද්ද පසක වූ අතර අපට කඳු ගැටයේ කෙළවරට ළඟා වූ පසු දැක ගැනීමට හැකි වූයේ මෙම කන්දෙන් වෙන්ව අඩි කිහිපයකි. දුරින් පිහිටි විශාල තනි කඳු ගැටයකි.
එය යක්ෂයාගේ ආසනය පිහිටි කඳු ගැටය වූ අතර ඊට ළඟා වීමට අපට කිසිදු ක්‍රමයක් නොවීය. මන්ද අඩි ගණනක දුර වුවද කඳු දෙක අතර පිහිටියේ මීටර් ගණනක හෙලකි. එබැවින් යක්ෂයාගේ ආසනය පිහිටි කඳු ගැටයට අපට යාමට කිසිදු ක්‍රමයක් නොවීය.
එම නිසාම අපි කන්දේ අනෙක් පසට ගොස් යක්ෂයාගේ ආසනය දැක ගත්තෙමු. සෘජුවම පහළ පොළොවේ සිට මීටර 150 ක් පමණ ඉහළට විහිදුණු කළු ගල් පර්වතයේ බෑවුමට මුහුණලා ආසනයක් ලෙස ස්වභාවිකවම සෑදුණු ගල් පර්වත කොටසක් ඉදිරියට නෙරා තිබුණි. පහසුවෙන් පුටුවක වාඩි වන ආකාරයට එහි හිඳගත හැකි පරිදි එය තිබුණා. නමුත් එහි අසුන්ගෙන ඉදිරියට මදක් හෝ පාත්වුවහොත් සෘජුවම ඔබ මීටර් 150 ක් පමණ පහළට වැටෙනු ඇත. මන්ද එම ආසනයේ තුන් පැත්තක්ම විවෘත වූ හෙයිනි. එපමණ දුෂ්කර හා මරණාසන්න අවධානම පවතින යකාගේ ආසනය අපි ඊට මඳ දුරක දී දැකබලා ගත්තෙමු. පසුව හපුතලේ සිට ඉදල්ගස්හින්නට යන උඩරට මැණිකේ දුම්රිය අලංකාරව වංගු ගැසී යන ආකාරයත් ඉදල්ගස්හින්න කන්ද උඩවේරිය කඳු කිරිගල්පොත්ත, වංගෙඩිගල සහ ගොම්මෝලිය ගලපිටගල ආදී කඳු සේම බලංගොඩ දක්වා පරිසරය දැක ගැනීමට අපට හැකි වුණි.
සවස් යාමය ළංවූ බැවින් කඳුගැටය කෙළවරින්ම අපි පයිනස් කැලයට ඇතුළු වී නැවතත් අඩි මාර්ගයට පිවිස යතුරුපැදි නැවැත් වූ ස්ථානයට ගමන් කළෙමු. පසුව අප බෙරගල නගරය හා බලංගොඩ හරහා පිටත් වූයේ ඇඳිරි වැටුණු කණිසමේය.
Thanks for reading!
Sobasiri Team © 2018